Friday, March 16, 2018



දයාබර ලකා අයියේ,

කොටස් 56ක් ගෙවී ගොස් මාර්තු 17 වන දින 57 වන හෙවත් කලකට පසු රටක් බලා සිටින අවසන් කථාංගය විකාශනය වීමට නියමිතව ඇති මොහොතක දයාබර ඔබට ලිවීම මා හට මහත් ප්රහර්ෂයක් ගෙනෙන්නක් වේ. ඔබත් දමිතත් එක්ව රචනා කළ අප කව්රුත් ආදරය කරන කූඹියෝ ඇත්තෙන්ම අප හදවත් කා දැමුවේ සීනි ගොඩකට බට කූඹි හමුදාවක් එය ක්රමක්රමයෙන් ආක්රමණය කරන්නාක් සේය. ශ්රී ලාංකේය ප්රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් වූ මෙම ආක්රමණය හුදෙක් හදවත් පමණක් නොව මනස් පවා කැළඹීමකට ලක් කළා යැයි කිවහොත් මා නිවැරදියි.

        ජෙහාන්ගේ පර්චේසිං ලංකා ඉන්ටර්නැෂනල් ව්යාපාරයෙන් ඇරඹි මෙම කූඹි ආක්රමණය චිත්ත ප්රවේග සඟරාව, ඔස්ටින් අයියාගේ ලේ නොසොල්වන ගේම්, පද්මකුමාර පත්තරකාරයා, ශාක්යා හෝල්ඩිංග්ස්, හිරුණිගේ සප්රයිස් ආදර කථාව වැනි චිත්තාකර්ෂණීය වූ විවිධ පරිච්ජේදයන් පසු කරමින් මේ සියලු පරිච්ජේදයන් එක කතාවක උප කොටස් බවට ඔබ පත් කරන්නේ ප්රේක්ෂකයා වෙත අතිශය රමණීය අයුරින් විශ්මය උරුම කරමිනි. මෙම සියලු පරිච්ජේදයන් මත ගොඩනැගුණු සිද්ධි හා චරිත හුදු මනඃකල්පිතයන් නොවූයේ ඒවා තුළ පැවති සමීප බව නිසාය. විටෙක මානව හා සමාජ යථාර්ථයන්  ඉතා සියුම් ලෙස  ප්රේක්ෂකයා හමුවේ ඔබ දිගහරින්නේ ජෙහාන් හා ප්රියන්ත අතර ඇතිවන තීරණාත්මක දෙබස් මගිනි. තවත් විටෙක එම යථාර්ථයන් ඔබ මුදාහරින්නේ ඔබ විසින් භාවිතයට ගත් දර්ශන තල මගිනි. තවත්විටෙක එය පෙන්වා දෙන්නේ එළිය හා අඳුර ඔබ භාවිතයට ගත් ආකාරයෙනි. මේ සියලු කරුණු කාරණා අවසානයේ ඔබෙත් අපෙත් කූඹියෝ නතර වන්නේ අන්තර්ජාතික IMDb ත්රාසය දනවන ටෙලි නාට් වර්ගීකරණයේ ප්රථම ස්ථානයේය. මෙම වර්ගීකරණයට ලාංකේය නාට් මාලාවක් ඇතුළත් වූ ප්රථම අවස්ථාව මෙය වීම ඔබටත් මටත් අප කාහටත් ඉතා සුවිශේෂී වනවාට සැක නැත.

        ජෙහාන් හා ප්රියන්ත යන ප්රධාන චරිතයන්ට අමතරව හිරුණි, ටිරාන්, ඔස්ටින්, පද්මකුමාර, ලේකම් හා මීෂා වැනි චරිත එක රැයින් අප හදවත් තුළ ස්ථානයක් හිමි කරගන්නේ ඔබගේ කථාව තුළ ගොඩනගන සිද්ධීන් සමඟ මෙම චරිතයන් හැසිරෙන ආකාරයත් එම චරිත රඟ දැක්වීමට ඔබ විසින් තොරා ගත් නළු නිළියන් එම චරිතයන්ට ඉටු කරන පරම සාධාරණයත් නිසාය. හුදු ඔලාරික චරිතයන් මගින් නිර්මාණය වන ෆැන්ටසි නාට් ලෝකය තුළ ඔබ පෙන්වූ තිත්ත ඇත්ත චරිතයන් ප්රේක්ෂකයන් වැළඳගන්නේ මේ හේතුව මතයි. 55වන හා 56 වන කථාංගයන් මගින් කථාංග 54ක් තුළ හුදු නාමික චරිතයක් පමණක් වූ ඩඞ්ලි මල්දෙණිය හෙවත් විපක්ෂ නායක චරිතය ඔබ විසින් හඳුන්වා දීම කූඹි ආක්රමණය ලාංකේය සමාජය තුළ කෙතරම් යන්න පෙන්වීමට කදිම උදාහරණයකි. ඔබ අතීතයත් වර්තමානයත් එකිනෙකට යා කරන්නේත් ප්රේක්ෂකයන්ගේ සිත් තුළ පවතින ගැටලු සැක සංකා නිරාකරණය කරන්නේත් මල්දෙණියගේ ආගමනයෙනි. 55වන කථාංගය නිමවීමත් සමඟ ඔබ සුවහසක් ප්රේක්ෂකයන්ගේ වීරයා බවට පමණක් නොව තරුණ ගැහැණු ළමුන්ගේ සිහින කුමරා බවට මෙම මහලු මල්දෙණියව පත් කරන්නේ සිතා ගන්නට පවා නොහැකි ආකාරයෙනි.

        ගිරය, කඩුල්ල හා ඉර මැදියම වැනි නිර්මාණයන්හි තම රංගන කුසලතාව මනාව විදහා දැක්වූ පීටර් ඩි අල්මේදා වැනි චරිතාංග නළුවෙකු ඔබ මෙම චරිතය සඳහා යොදා ගැනීම මෙවැනි වූ තිගැස්මක් සමාජය තුළ ඇති කිරීමට හේතු වූවාට නොඅනුඅමානයි. ඔබ විසින් මෙතෙක් ගොඩනගන ලද සිද්ධිදාමය තුළ ප්රේක්ෂකයා විසින් බලාපොරොත්තු වූ හා ඉල්ලා සිටි දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් මල්දෙණියගේ චරිතය තුළින් ලබා දීම අහම්බයක් නොවන්නේ පීටර් ඩි අල්මේදා විසින් එම චරිතයට ඉටු කරන සාධාරණයත් සමඟය. ඔහුගේ බැල්ම, සිනහව, අංග චලන, වචන උච්ඡාරණය තුළ ඔහු විසින් ගොඩනගන පෞර්ෂය සමඟ දර්ශන තලය හා කථාවේ වර්තමාන අවස්ථාව යන සියලු කරුණු ඔබ විසින් එකිනෙකට සම්බන්ධ වන සේ පිරිද්දීම මෙම ආකර්ෂණයට හේතුවන බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. 55 පෙර ජෙහාන් අයියාට පෙම් කළ නංගිලා අද පෙම් කරන්නේ මල්දෙණිය අංකල්ටය. සප්නලාගේ ඉෂි අම්මලාගේ හීන ලෝක තුළ තම යථාර්ථය ගොඩනංවමින් අනුහස් වෙත ආලය පුද කළ මානවිකාවන්ට ඔබ 55න් පසක් කළ නියම යථාර්ථය කවදත් ඔවුන්ගේ සිත් තුළ රැඳෙනවාට සැකයක් නැත.

        එපමණක් නොව ඔබ 55න් ඉඟි කළ දේශපාලන සංසිද්ධිය පිළිබඳව මේවන විට ප්රේක්ෂකයන් තුළ දැඩි කථාබහක් මතුවෙමින් පවතී. ඔබ විසින් නිර්මාණය කළ මල්දෙණියගේ චරිතයේ සැබෑ හිමිකරුවා පිළිබඳව මෙන්ම එම සැළැස්ම මීට දශක කිහිපයකට පෙර මෙරට මැවුණු ආකාරය පිළිබඳව ප්රේක්ෂකයන් දරන්නේ සබුද්ධික විචාරයකි. විවිධ වර්ෂයන්, ආණ්ඩු පිහිට වූ ආකාරයන් මෙන්ම පක්ෂයන්ගේ සැකැස්ම පිළිබඳව ප්රේක්ෂකයන් මේ දිනවල ඵෙතිහාසික විශ්ලේෂණයේ යෙදෙන්නේ පෙර නොවූ විරූ ලෙසය. මෙලෙස ටෙලි නාට්යයක සිද්ධීන් පිළිබඳව හා එහි ගැබ්ව පවතින දේශපාලනික යථාර්ථය පිළිබඳව ප්රේක්ෂකයා චිචාරයේ යෙදෙන්නේ ඔබ විසින් සකසන ලද චරිතයන් හා සිද්ධීන්හි පවතින අන්යෝන් සම්බන්ධතාවයේ පවතින ආකර්ෂණීය බව නිසාය. එමනිසා ඔබ හුදෙක් රසවින්දනය පමණක් නොව ඔවුන්ට හිතන්න යමක් ඉතිරි කොට නියම නිර්මාණකරුවාගේ භූමිකාව නිරූපනය කරමින් ප්රේක්ෂකයාව ආනන්දයෙන් ප්රඤ්ඤාව කරා රැගෙනයාමට සමත්ව ඇත.

        කථාංගයන් 56ක් පුරාවට ඔබ අපව ත්රාසයෙන්, කුතුහලයෙන්, විනෝදයෙන් පුරවාලන්නට සමත් වූ බව අවිවාදයෙන් පිළිගතයුතු කරුණකි. නමුත් එම කාර්ය තවත් එක් කථාංගයකින් නිමාවට පත්වීම ශ්රී ලාංකේය ප්රේක්ෂකයන්ට මෙන්ම ටෙලි නාට් කලාවට මහත් වූ වියෝවකි. නමුත් තවමත් මල්දෙණියලා ජෙහාන්ලාගේ අනුදැනුම මත තම ව්‍යාපෘතීන් මෙම දේශය තුළ දියත් කරමින් පවතී. එදත් අදත් හෙටත් එය එසේමය. මල්දෙණියලා තම බලය වෙනුවෙන් සකස් කරන න්‍යාය පත්‍රයන් තේරුම් ගැනීමට තවමත් අප ලාංකේය සමාජය දේශපාලනික වශයෙන් මුහුකුරා ගොස් ද නැත. එය විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන සිද්ධීන් තුළින් මැනවින් විශද වෙමින් පවතී. නොමේරූ දේශපාලන බුද්ධියක් සහිත මිනිසුන් සබුද්ධික දේශපාලන මානව කොට්ඨාශයක් කරන්නට ඔබ සිදු කළ කූඹි ආක්‍රමණය ප්‍රසංශනීයය. මෙම ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් ඉල්ලා සිටින්නේ ඔබ හා ඔබේ නිර්මාණයන් තවදුරටත් ඔවුන්ට අත්‍යාවශ්‍ය බවයි... ඔබට සදා ජය


මීට හිතවත්,
අයේශ් විජයසිංහ