Monday, September 5, 2016

විභාගය වදයක්ද? මෙන්න විසඳුම






මේ දවස් වල කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න බහුතර විද්‍යාර්ථින්ගෙන් ඔබ අකමැතිම වචනය කුමක්ද යැයි ප්‍රශ්නයක් ඇසුවහොත් ඊට නිරායාසයෙන්ම ලැබෙන පිලිතුර ලෙස" Exam" , යන්න පෙන්වා දෙන්න පුලුවන්. විභාගයට අකමැති වුවත් එයට නොවරදවාම සහභාගී විය යුතුයි. ඉතින් අකැමැත්ත කැමැත්ත බවට පත්කරගෙන විභාගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව දැනගැනීමට අප අද සම්බන්ධ කරගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති ඒ. ජී අමරසිංහ මහතාවයි.

ඔබ සිතන ආකාරයට විභාගයක් යනු කුමක්ද? එය පැවැත්වීමේ අරමුණ කුමක්ද?

මූලිකවශයෙන් විභාගය කියන්නෙ දැනුම පදනම් කරගත් දෙයක්. මෙහිදී දැනුම නැතිනම් නබදඅකැාටැ  යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දැන සිටීම වැදගත්. එහිදී අධ්‍යාපන විශේෂඥයින් පිරිසක් විසින් 1956දී හඳුන්වාදුන් Bloom's Taxonomy  මගින් දැනුම යන්න කොටස් 06ට බෙදා දැක්වූවා. එනම්

මතකය
අවබෝධය
භාවිතය
විශ්ලේෂණය
සංස්ලේශණය
ඇගයීම යනාදියයි. 

එනම් දැනුම යනු මෙම කොටස් පිළිබඳව ඇති හැකියාවයි. එහිදී ගුරුවරයෙකුට ඒ සියල්ල තම ශිෂ්‍යා වෙත කියා දිය නොහැකියි. ගුරුවරයා යම් සංකල්පයක් පිළිබඳව ලබා දෙන දත්තයන් අවබෝධ කරගැනීම, විශ්ලේෂණය කිරීම, ඇගයීම වැනි දෑ ශිෂ්‍යයා විසින් කළ යුතුයි. නමුත් මෙම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබෙන ඛේදවාචකය වන්නේ ශිෂ්‍යයින් හා ගුරුවරුන් යන දෙකොට්ඨාශයම දැනුම යනු හුදෙක් මතකය පමණක් බවට සිතා සිටීමයි. ශිෂ්‍යයා උත්සාහ කරන්නේ මතකයේ ඇති දේ එලෙසින්ම පිළිතුර ලෙස ලිවීමටයි. නමුත් විභාගය යනු මතකයට පමණක් ලඝුවූවක් නෙමෙයි. නමුත් මෙම තත්ත්වය නිසාවෙන් විශාල කරුණු ප්‍රමාණයක් මතක තබා ගැනීමට සමහර දරුවන් අනවශ්‍ය වෙහෙසක් දරනවා. නමුත් ප්‍රශ්න පත්‍රය සකස් වන්නේ මතකය කේන්ද්‍ර කරගෙන නෙමෙයි. විශ්ලේශණය කරන්න යැයි පවසා තිබුනහොත් තමන් කටපාඩම් කරගත් දෙය එලෙසින්ම පිළිතුර ලෙස ලිවිය නොහැකියි. එහිදී අදාල කරුණ පිලිබඳව පහදා එහි පෙනෙන නොපෙනෙන, වාසි අවාසි, ගැලපීම් නොගැලපීම් ආදී සියලු තත්ත්වයන් පිළිබඳව කරුණු දක්වමින් විශ්ලේෂණය කල යුතුයි. එමනිසා විභාගය යනු හුදෙක් මතකය පරීක්ෂා කිරීමක් නොව ඉහත සඳහන් සියලුම කරුණු ඇතුළත් දැනුම පරීක්ෂා කිරීමට යොදා ගන්නක් බව පෙන්වා දෙන්න පුලුවන්.


දැනුම පරීක්ෂා කිරීම වෙනුවෙන් පැවැත්වෙන විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස්වන්නේ කොහොමද? 

ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී පවා සැලකිළිමත් වන්නේ ඉහතින් පෙන්වා දුන් නිර්ණායකයන් 06 පිළිබඳවයි. එනම් පශ්න පත්‍රය තුළින් මතකය මැන බලන්නේ ඉතාමත් සුළු ප්‍රතිශතයකින් පමණයි. ප්‍රශ්න පත්‍රය ආරම්භ කරන පළමු ප්‍රශ්නයේ සිට අවසාන ප්‍රශ්නය දක්වා මෙම විද්‍යාත්මක ක්‍රමයට අනුව ප්‍රශ්න සකස් වනවා. එහිදී පළමු ප්‍රශ්නය බොහෝවිට “පැහැදිලි කරන්න” යන්නෙන් අවසන් වී තිබෙනවා. මෙහිදී ශිෂ්‍යයා මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී හුදෙක්ම පැහැදිලි කිරීමක් පමණක් සිදු කළ යුතු අතර ගැඹුරු කරුණු පිළිබඳව අදහස් දැක්වීම අපේක්ෂා නොකරයි. නමුත් දෙවන ප්‍රශ්නයේ සිට අවසාන ප්‍රශකය දක්වා ලබා දෙන ප්‍රශ්න ක්‍රමයෙන් සංකීරණ ස්වභාවයක් ගනී. එහිදී ප්‍රශ්නය අවසානයේ බොහෝවිට “විශ්ලේෂණය කරන්න” “සන්සන්දනය කරන්න” “විග්‍රහ කරන්න” “ඔබගේ අදහස් දක්වන්න” “සම විශමතා පෙන්වා දෙන්න” ආදී විධානයන් දැකිය හැකියි. මෙවන් තත්ත්වයන් තුළදී හුදෙක් පැහැදිලි කිරීමකින් එහා ගිය ශිෂ්‍යයාට හැඟෙන, දැනෙන, පෙනෙන දේ පිළිබඳව විමර්ෂණශීළි ලෙස කරුණු දැක්විය යුතුයි. එමනිසා පළමු ප්‍රශ්නය මෙන් ඉතිරි ප්‍රශ්න සරල නොවන බවත් ඒවාට හුදු මතකයෙන් නොව අවබෝධයෙන් යුතුව පිළිතුරු සැපයීමට ශිෂ්‍යයින් වග බලා ගත යුතුයි.

මෙලෙස නිර්මාණය වන ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් විද්‍යාර්ථීන් පිළිතුරු ලිවිය යුත්තේ කෙසේද?

ප්‍රශ්න පත්‍රය මගින් අසන ප්‍රශ්න වෙනුවෙනු පිළිතුරු ගොණු කිරීමේදී පවා විද්‍යාර්ථීන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එහිදී පිලිතුර උත්තර පත්‍ර පරීක්ෂකවරයාට අවබෝධ වන ආකාරයෙන් ලිවිය යුතුයි. එපමණක් නොවෙයි අසන දෙයට පමණක් පිළිතුරු ලිවිය යුතුයි. උදාහරනයක් ලෙස ගතහොත් ශ්‍රී ලංකාවේ නිරිතදිග වර්ෂාපතනය ලැබෙන කාලය පිළිබඳව විග්‍රහයක් කරන්න යනුවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළහොත් පිලිතුරු ලිවිය යුත්තේ නිරිතදිග වර්ෂාපනය ලැබෙන කාලය ගැන පමණකි. නමුත් මෙහිදී වර්ෂාව, ජලය, සුළඟ ආදී වූ වර්ෂාවට සමිබන්ධ සියල්ල ලිවීම අනවශ්‍ය වන අතර එය හුදෙක් ප්‍රශ්නයට පිටින් පිලිතුරු සැපයීමක් ලෙස සඳහන් කරන්න පුලුවන්. එමනිසා අසන දෙයට පමණක් පිළිතුරු සැපයීමට විද්‍යාර්ථීන් වගබලා ගතයුතුයි. ඒ වගේම පිළිතුරු ලිවීමේදී මූලික ආකෘතියක් මත පදනම්ව පිළිතුරු සැපයීම සිදු කළ යුතුයි. එහිදී එම ආකෘතිය කොටස් 03න් සමන්විත වන අතර ඒ හැඳින්වීම, අන්තර්ගතය නැතිනම් බඳ කොටස හා නිගමනයයි. හැඳින්වීම මගින් තමන් පිළිතුරින් ලිවීමට අදහස් කරන දෙය පිළිබඳව දැනුම්වත් කිරීම සිදු කළ යුතුයි. අන්තර්ගය මගින් පිළිතුර විවිධ කෝණයන්ගෙන් අදාහරන මගින් පෝෂණය කළ යුතුයි. එහිදී පිළිතුර කොටස් වශයෙන් ලිවිය යුතුයි උදාහරණ ලෙස “මෙයට පිළිතුරු සැපයීම ආකාර දෙකකින් සිදු කළ හැකිය” යනුවෙන් සඳහන් කරනවානම් එම කොටස් ද්විත්වය වෙන් වෙන් වශයෙන් පැහැදිලි කළ හැකිය. එලෙස සංවිධානාත්මකව පිළිතුරු සැපයීමේදී නොමග යාමක් සිදු නොවන අතර කාල කළමණාකරණය පවා නිසි ලෙස සිදු කරගත හැකිය. මෙ උත්තර පත්‍ර පරීක්ෂකයාට පවා තම කාර්ය පහසු කරවන්නක් බවට පෙන්වා දෙන්න පුලුවන්.

අධ්‍යයන නිවාඩුව (Study Leave)විභාගයට සුදානම් වීමට ප්‍රමාණවත්ද?

අධ්‍යයන නිවාඩුව ලබා දෙන්නේ විභාගයට සූදානම් වීමට නොවෙයි. මාස හයක් පුරාවට වෙහෙස වීම වෙනුවෙන් විද්‍යාර්ථියාට විභාගයට පෙර යම් නිදහසක් ලබා දීමටයි මෙය ලබා දෙන්නේ. මෙම කාලය තුළ තව තවත් අධ්‍යයන කටයුතු වෙනුවෙන් වෙහෙසීම සිදු නොකළ යුතු දෙයක් වුවත් විද්‍යාර්ථීන් සිදු කරන්නේ ඒ දෙයමයි. විභාගයට සූදානම් විය යුත්තේ අධ්‍යයන නිවාඩුවේදී නොව අධ්‍යයන කටයුතු ආරම්භ කළ දිනයේ සිටමය. එහිදී විශයට අදාල විශය නිර්දේශය ලබා ගෙන ඊට අවශ්‍ය ලෙස තොරතුරු පුස්තකාලය හා අන්තර්ජාලය ආශ්‍රයෙන් ලබා ගෙන විභාගයට සූදානම් විය යුතුයි. එම කටයුතු අධ්‍යයන නිවාඩුව තුළ සිදු කිරීම මගින් විභාගයට අවශ්‍ය කරන මානසික නිදහස භුක්තිවිඳීමට නොහැකි වෙනවා.

විභාගය ආසන්නයේදී යම් යම් මානසික අර්බුදයන් ඇතිවීම සුලභ කරුණක්. මෙය වළක්වාගන්නේ කෙසේද?

විභාගය ආසන්නයේදී ආතතිය, පීඩනය, විශ්වාසය බිඳවැටීම් ලෙඩ රෝග වලට ගොදුරුවීම් වැනි තත්ත්වයන් ඇතිවීමට පුලුවන්. කල් ඇතිව විභාගයට සූදානම් විය යුත්තේ මෙවන් තත්ත්වයන් සඳහා මුහුණ දීමටයි. එලෙස කල්වේලා ඇතිව සූදානම් වූ අයට මෙවන් තත්ත්වයන් ඇති වුවත් ගැටලුවක් වන්නේ නැහැ. නිසි වේලාවට ආහාර ගැනීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම හා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම මගින් මෙවැනි මානසික තත්ත්වයන් අවම කර ගන්න පුලුවන්. එපමණක් නොවෙයි තමන්ට යම් දෙයක් මගහැරුනේ නම් ඒ පිළිබඳ අවධානය යොමු නොකර තමන්ට පුලුවන් දේ උපරිමයෙන් කිරීමට වගබලා ගත යුතුයි. තමන් සතු දෙයින් සෑහීමකට පත්වන්නේ නම් එවන් වූ මානසික බිඳවැටීම් අවම කරගත හැකියි.

විභාගය පැවැත්වෙන දිනය සැලසුම්කරගත යුත්තේ කෙසේද?

ප්‍රථමයෙන්ම කල්වේලා ඇතිව විභාගය පැවැත්වෙන ශාලාව වෙත ලඟාවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ගත යුතුයි. ඒ කියන්නේ 8.30ට විභාගය පැවැත්වෙනවා නම් 8.15 වන විට විභාග ශාලාව වෙත ලඟා විය යුතුයි. වෙත් වැඩ කටයුතු එදිනට යොදා ගැනීම සිදු නොකළ යුතු අතර සම්පූර්ණ අවධානය විභාගයට පමණක්ම ලබා දිය යුතුයි. එහිදී ඊට අවශ්‍ය උපකරණ වූ පෑන්, පැන්සල්, මකන, අඩිරූල්, විභාග ප්‍රවේශපත්‍රය හා හැඳුනුම්පත විභාගයට පන විට අනිවාර්‍යයෙන් රැගෙන යා යුතුයි. තවද විභාග අක්‍රමිකතා සිදු නොකරීමට සියලු දෙනා වල බලා ගත යුතුයි. ප්‍රශ්න පත්‍රය ලැබුන විට ප5ශ්න ගණනට අනුව කාලය සැලසුම් කර ගත යුතුයි. එහිදී පැය 03 පත්‍රයක් ලැබුනේ නම් පිලිතුරු ලීවීමට ඇත්තේ පැය 02.45ක කාලයක් පමණි. ඉතිරි විනාඩි කිහිපය ප්‍රශ්න තොරා ගැනීමට, පිළිතුරු පත්‍ර ගැට ගැසීමට හා පිළිතුරු නැවතවරක් කියවා බැලීමට වෙන් කළ යුතුයි.

පිළිතුරු සැපයීමේදී ප්‍රශ්න තෝරා ගත යුත්තේ කෙසේද?

ප්‍රශ්න පත්‍රය ලැබුනු පසු සෑම ප්‍රශ්නයක්ම හොඳින් කියවිය යුතුයි. එහිදී තමන්ට හොඳින්ම පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්න තෝරා සළකුණු කරගත යුතුයි. එසේ ප්‍රශ්න තෝරා ගැනීමෙන් පසු පිළිතුරු ලිවීම ආරම්භ කළ හැකියි. මෙහිදී නිශ්චිතවම තමන්ට පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්න පමණක්ම තෝරා ගත යුතුයි. පිළිතුරු ලියා අතරමැදී කපා දැමීමට සිදුවන නොවන ලෙස ප්‍රශ්න තොරා ගත යුතුයි. අතහැරිය යුතු ප්‍රශ්න අනිවාර්‍යයෙන්ම අතහැරිය යුතුයි. වැඩියෙන් හෝ අඩුවෙන් පිලිතුරු නොලියා සඳහන් කළ ප්‍රමාණයටම පිළිතුරු ලිවීමට උත්සාහ කළ යුතුයි.

සංවාද සටහන
අයේශ් මධුශංඛ

5 comments: