Friday, June 12, 2015

මහ පාරේ ජරමරේ ඉවර වෙයිද මේ කපේ?



වේලාව පස්වරු 4 පසු වී විනාඩි 30යි. මා කාර්යාලයෙන් මාගේ වැඩකටයුතු නිමා කර බොරැල්ල හන්දිය වෙත දිව ගොස් 154 බස් රථයකට ගොඩ වූයේ හැකි ඉක්මණින් ගෙදර යාමේ වුවමනාවෙනි. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව උදයේ පටන් වෙහෙස කර වූ කාර්යාල ජීවිතයෙන් පැය කිහිපයකට හෝ මිදී පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගෙවා දැමීමේ අරමුණෙනි. ඒ පිලිබඳව සිහිනයක වෙලී සිටි මා එකවරම අවධි වූයේ බසය යම් සෙලවීමකට ලක් වූ නිසාවෙනි. මා වට පිට බැලූවෙමි තවමත් මා බොරැල්ල වෙළඳපල අසලය. මිනිසුන් පිරී සිටි බස් රථයේ වෙලාව බැලීමට මා මාගේ අත ඔවුන්ගෙන් ගලවා ගත්තේ සිරකරුවන්ට දමන මාංචු කුට්ටමක් හොරෙන් ගලවනවාටත් වඩා අසීරුවෙන් බව හැගී ගියේ අත මදක් සීරී තිබූ නිසාවෙනි. ඔරලෝසුව දුටු මා හට එම දර්ශනය අදහා ගත නොහැකි වූයේ වේලාව පස්වරු 05 පසුවී විනාඩි 02ක් ගත වී තිබුනු බැවිනි. විනාඩි 32ක් බසය එක තැන තිබීම මාගේ මවිතයට කරුණක් විය. නමුත් එය එතරම් මවිත විය යුතු කරුණක්ද නොවේ යන්න සිහි වූයේ මා තවමත් ලංකාවේ ජීවත් වනවාය යන්න සිහි වූ පසුය.

වාහන තදබදයට දුප්පත් පොහොසත් කියා බේදයක් නැත. පාපැදියකින් හෝ යතුරු පැදියකින් ගමන් කරන පුද්ගලයෙකු කොතැනකින් හෝ රිංගා තමන්ගේ ගමන ඉක්මන් කර ගනී. පොදු ප‍්‍රවාහන සේවාවක ගමන් කරන මගියෙකුට පමණක් නොව පුද්ගලික වාහනයක ගමන් කරන අයෙකුට ද වාහන තදබදයෙන් සිදුවන කාලය අපතේ යාම පොදුවේ විදින්නට සිදුවී ඇති හිරිහැරයකි. එය මෙරට ප‍්‍රධාන නගරවල දක්නට ලැබෙන ප‍්‍රධාන අවහිරයකි. මහා මාර්ග පුළුල් වෙයි. අධිවේගී මාර්ග තැනෙයි. නමුත් වාහන තදබදයට විසදුමක් නැත. නිතිපතා විශාල වාහන ප‍්‍රමාණයක් ධාවනයට එකතු වන අතර ප‍්‍රධාන නගර වලට එකතුවන වාහන ද ප‍්‍රධාන නගර වලින් අගනුවරට පැමිණෙන වාහන ද එකතු වූ විට එය එක සේ බලපවත්වන ප‍්‍රධාන ගැටලූවක් වී තිබේ.
බොරැුල්ල හන්දිය පසු කර දෙමටගොඩ පාලම අසලට ලගා වන වට වේලාව 5.45 වී තිබිණ. දෙමටගොඩ පාලම පසු වු විට තරමක් තදබදය අඩුය යන්න සැමගේ මතය වුවත්  නොසිතූ ලෙස ටාං ටාං ටාං ටාං නාදය එක දිගට නාද වන්නට වූයේ එම බලාපොරොත්තුවද සුන් කර දමමිනි. මහා මාර්ගය හරහා දුම්රිය 2ක් ධාවනය වීම හේතුවෙන් තවත් විනාඩි 15 ක පමණ කාලයක් එක තැන රැඳී සිටීමට මා ගමන් කළ බස් රථයට සිදු විය.

වාහන අක‍්‍රමවත්ව සහ කාලය ගනිමින් ධාවනය වන විට එහි ගමන් කරන මගීන් ගේ වැඩ කරන්නට හැකි කාලය අපතේ යයි. ඉන්ධන දහනය මගින් සිදුවන නාස්තිය තවත් බරපතල ප‍්‍රශ්නයකි. නියමිත වේලාවට තමන්ගේ කාර්යය ඉටුකර ගැනීමට නොහැකිවීමෙන් සිදුවන අතෘප්තිය සහ මානසික පීඩනය මේ සියල්ලටම වඩා බලවත්ය. ආර්ථිකය සහ සමාජය තුළ පැන නැගෙන මෙම විෂම තත්ත්වය සැලකිල්ලට ගෙන රටට ගැලපෙන අලූත් විසදුමක් නිර්මාණය කිරීම තවත් ප‍්‍රමාද කළ යුතු කාර්යයක් නොවේ. රථ වාහන තදබදය ලෝකයේ දියුණු වෙමින් පවතින රටවලට පොදු ප‍්‍රශ්නයකි. ඒක පුද්ගල ආදායම වැඩි වී මැදි ආදායම් රටක් බවට පත්වන විට සෑම පුරවැසියෙකුම පුද්ගලික පරිහරණයට වාහනයක් මිල දී ගන්නා අතර ඒවා මහ මගට එකතු වන විට තදබදය ඇතිවීම අපේක්ෂා කළ යුතුය. ජනතාව ගේ ආර්ථික මට්ටම ඉහළට නැගෙන විට දියුණු රටවල් පොදු ප‍්‍රවාහනය ශක්තිමත්කර ඒවායේ පහසුකම් නංවයි. නමුත් අප රටේ සිදු වන්නේ එහි කණපිටය ඒ මේ ලංකාව නිසාය.
මා තවමත් බස් රථයේ කොටුවී වී, සිර වී විමලසුරේන්ද්‍ර විදුලිබලාගාරය පේන මානයේ සිටින්නේය. බසය තවමත් එක තැනය. දැන් වේලාව 06 පසු වී විනාඩි 15ක් ගතවී හමාරයකුමක් කරන්නද? ඉතිරිව ඇත්තේ මෙය ලබා උපන් හැටිය කියා හිත හදා ගැනීමට පමණිකළක පටන් මා මෙන්ම මෙම මාර්ගයේ 8-4 වැඩ මුරය අහවර කරන සෑම පුද්ගලයෙකුම එසේ කරන්නට පුරුදු වී සිටීම නිසාවෙනි.

යුරෝපයේ ඇතුලූ දියුණු රටවල ප‍්‍රධාන නගර වලට පැමිණෙන මගීන්ට නගරය තුළ සිය අවශ්‍යතා ඉටු කරගැනීමට පහසුවන ආකාරයට නාගරික බස් හා දුම්රිය සේවා විධිමත් කර ඇත. කැමැති තැනකට ඉක්මනින් යා හැකි ක‍්‍රමයක් නගරය තුළ ඇති කර ඇත. එමනිසා ඒ රටවල පුද්ගලික වාහන භාවිතය අවම වී ඇත. පාසලට හෝ කාර්යාලයට ඉක්මනින් සහ අපහසුවකින් තොරව යා හැකි ක‍්‍රමයක් සකස් වන විට පුද්ගලික වාහන වලින් අධික වියදමක් සහ මහන්සියක් දරා පැමිණෙන්නට කිසිවෙකු කැමැති නොවනු ඇත. නමුත් අප රට තුළ පවතින බස් සහ දුම්රිය ප‍්‍රවාහනයේ අක‍්‍රමවත් බව සහ ඒවායේ ද ගමන් කරන මගී පිරිස බලන විට හැකි සියලූම දෙනා තමන්ගේම වාහනයක් විනා වෙන විකල්පයක් ගැන සිතන්නේ නැත.

තවමත් මා රැඳී සිටින්නේ අලූත් පාලම උඩය දැන් වේලාව 06 පසු වී විනාඩි 45කි. කැලණි ගඟ නිසොල්මනේ නිදහස්ව මහ මුහුද වෙත එනම් ගමනාන්තය කරා ගලා බසින ආකාරය බලා සිටින මට ගඟ පිලිබදව ඇති වූයේ අසීමිත ඊර්ෂියාවකි. ඒ පැය දෙකකට අධික කාලයක් මහ මඟ ග බස් රථයක් තුළ රැඳී සිටිමින්, දසතින් වැගිරෙන දහදිය සුවඳක් සේ විඳිමින්, හිර වෙමින් පොඩි වෙමින් ගමනාන්තය වෙත යාමට තවමත් පෙරුම් පුරන නිසාවෙනි.

පොළවට ඉහළින් ඉදිවන මාර්ග සහ උමං මාර්ග වැනි අධික වියදම් සහිත ව්‍යාපෘති වලට ප‍්‍රවේශවීම විනා අන් විකල්පයක් රටට නැත. ඒවා සැලසුම්කර ආයෝජනයක් වන තෙක් කොළඹ වටා ඇති ප‍්‍රධාන නගර වලට වාහන තදබදය බෙදා හැරියහොත් සහ කොළඹට ඇතුළුවන ජනතාව වෙනුවෙන් හොඳ නාගරික පොදු ප‍්‍රවාහන සේවවාක් ඇති කළහොත් එය ඉතාමත් වැදගත්ය. නාගරික රථවාහන තදබදය නිසා රටට අහිමි වන ශ‍්‍රමය සහ ඉන්ධන හානියේ තරම ගැන සොයා බලන විට ඉක්මනින් යම් විසදුමක් වෙන්වෙන් එකඟවීම විනා විකල්පයක් නැති බව පැහැදිලිය.

තවමත් මා මාගේ ගමනාන්තය වෙත ලගා වී නොමැත. බඬේ පණුවන් වරක් දෙවරක් නොව සිය දහස් වරක් මේවන විට පොඩිවුන්ගේ භාෂාවට අනුව රෙස්ලිං ගසා අවසන්ය. ඇත්තටම මෙම ජරමරය ඉවර වෙන්නේ කවදාද? මීට විසඳුමක් ඇත්තටම නැද්ද? ඇති යන්තම් දැන් වේලාව 7 පසු වී විනාඩි 15 මා මාගේ ගමනාන්තය වූ කිරිබත්ගොඩට මේ දැන් ලගා වූවා පමණි.

බස් රථවල මගියන්ට පමණක් නොව පෞද්ගලික වාහන හිමියන්ට පවා මෙම ඉරණම පොදු දෙයක් වී හමාරය. විශේෂයෙන් කොළඹ නගරයේ ධාවනය වන රථවාහන ප‍්‍රමාණය, සීඝ‍්‍රයෙන් වැඩි වෙමින් පවති. එහෙත් ඒ වෙනුවට, අළුතෙන් මහා මාර්ග ඉඳිවීමක් හෝ පුළුල් කිරීමක් බලාපොරොත්තු විය නොහැක. වාහන තුල ගමන් ගන්නා අයට, මෙය නොදැනන කාරණයක් වූවද, ජාතික වශයෙන් ගත් කළ, මෙය ජාතික අපරාධයකි. වායූ දුෂණය හා පරිසර දුෂණය වැඩිවීමකි. කළ යුත්තේ කුමක්ද? තීරණය ඔබට භාරයි.

අයේශ් විජයසිංහ

මෙම ලිපිය 2015.06.07දින ”ඇත්ත” පුවත් පතේ පළ වූවකි
http://www.aththa.lk/paper/07_06_2015/eBook/index.html


No comments:

Post a Comment