Friday, June 19, 2015

සයිබර් අපරාධ හා බැදුන පාරිභාෂික වචන




    
     සයිබර් අපරාධ පිළිබඳව කථා කරද්දී ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම් ඊට අදාල පාරිභාෂික වචන පිළිබඳව මෙන්ම ඉන් ගම්‍ය වන අර්ථයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. ඒ අනුව සයිබර් අපරාධ කේන්ද්‍ර කොට ගත් පාරිභාෂික වචනයන්හි අර්ථය පහත සඳහන් පරිදි විග‍්‍රහ කළ හැකිය.


Ø Hacker (හැකර්)
හැකර් යන්න විග‍්‍රහ කිරීම සඳහා අර්ථ දෙකක් පවතී. පළමුවැන්න නම් දක්ෂ ක‍්‍රමලේඛක (Clever Programmer)යන්න වන අතර දෙවැන්න නම් පරිගණක ජාල හා පද්ධති වෙත අනවසරයෙන් පිවිසෙන්නා යන්නයි.

Ø White hat (වයිට් හැට්)
පරිගණක ජාල හා පද්ධති තුල පවතින ආරක්ෂක දුර්වලතා හදුනාගනිමින් ඒ තුලට පිවිසෙන හැකර්වරුන් වයිට් හැට් නමින් හදුන්වයි. මොවුන් ද්වේෂ සහගත චේතනාවෙන් පරිගණක ජාල තුලට නොපිවිසෙන අතර එහි පවතින ආරක්ෂක දුර්වලතාවය අයිතිකරුවාට පෙන්වා දෙන අතර වෙනත් හැකර්වරුන්ට ඊට පිවිසීමට ඉඩ ලබා නොදෙයි.

Ø Black hat (බ්ලැක් හැට්)
පරිගණක ජාල හා පද්ධති තුලට ද්වේෂ සහගත චේතනාවෙන් පිවිසෙන හැකර්වරුන් බ්ලැක් හැට් නමින් හදුන්වයි. මොවුන් පිවිසෙන පරිගණක පද්ධති තුල පවතින ලිපි ගොනු විනාශ කිරීමක් හෝ දත්ත සොරකම් කිරීමක් සිදු කරයි. එපමණක් නොව එම අනාරක්ෂිත පද්ධති තුලට වෙනත් හැකර්වරුන්ට පිවිසීමට ඉඩ ලබා දෙන්නේ හැක් කිරීමට ලක් වූ අයිතිකරුවාට නොදැනෙන ආකාරයටයි.

Ø Grey hat ( ග්රේ හැට්)
පරිගණක ජාල හා පද්ධති තුල පවතින ආරක්ෂක දුර්වලතා හදුනාගනිමින් ඒ තුලට පිවිසෙන මොවුන් එහි පවතින ආරක්ෂක දුර්වලතාවය අයිතිකරුවාට පෙන්වාදීම මගින්  පරිගණක පද්ධති තුල පවතින ආරක්ෂක තත්වය උසස් කිරීම බලාපොරොත්තු වෙයි. මොවුන් ද්වේෂ සහගත චේතනාවෙන් පරිගණක ජාල තුලට නොපිවිසෙන නමුත් එම අනාරක්ෂිත පද්ධති තුලට වෙනත් හැකර්වරුන්ට පිවිසීමට ඉඩ ලබා දෙයි.


Ø Phishing (පිශින්)
නීත්‍යානුකූල යැයි හැගෙන ලෙස ග‍්‍රාහකයන් වෙත එවනු ලබන E – mail පණිවිඩ මගින් ඔවුන්ගේ පෞද්ගලික හා ආර්ථිකමය තොරතුරු රැස් කිරීම පිශින් ලෙස හැදින්වේ. මෙහිදී  එවනු ලබන E – mail පණිවිඩය නීත්‍යානුකූල පිළිගත් වෙබ්  අඩවියකින් පැමිනි පණිවිඩයක් ලෙස දිස්වේ (^Paypal, eBay, MSN, Yahoo, BestBuy, and America Online)  මෙහිදී ග‍්‍රාහකයන්ගෙන් මත්ස්‍යයන් අල්ලන ආකාරයෙන් ඇමක් භාවිතා කොට තොරතුරු ලබා ගන්නා නිසා මෙය මේ නමින් හැදින්වේ.



Ø Rootkit (රූට්කිට්)
පරිගණක ජාල හා පරිගණක (administrator level) මට්ටමෙන් අනවසරයෙන් පිවිසීමට භාවිතා කරනු ලබන පරිගණක වැඩසටහන් හා මෙවලම් රූට්කිට් නමින් හදුන්වයි. මෙහිදී හැකර්වරුන් විසින් පළමුවරට පරිගණක පද්ධති තුලට ඇතුල්වී එහි Rootkit ස්ථානගත කරනු ලබයි. අනතුරුව එම  Rootkit මගින් හැකර්වරුන් හට අයිතිකරුවාට නොපෙනෙන ලෙස පරිගණක පද්ධතිය තුලට ඇතුල්වීමට අවස්ථාව සළසා දෙයි.

Ø Spam (ස්පෑම්)
ස්වකැමැත්තෙන් තොග වශයෙන් විද්‍යුත් පණිවිඩ යැවීමේ පද්ධතියක් ස්පෑම් ලෙස හදුන්වයි. දැනට භාවිතා වන ප‍්‍රමුඛතම ස්පෑම් වර්ගය ලෙස E – mail spam  හැදින්විය හැකිය. මීට අමතරව විවිධ  ස්පෑම් වර්ග දැකිය හැකිය ඒවා නම් instant messaging spam, wiki spam, web search engine spam ලෙස හැදින්වේ.


Ø Spyware (ස්පයිවෙයාර්)
යම් පුද්ගලයෙකුගේ හෝ ආයතනයක තොරතුරු අනවසරයෙන් රැස්කිරීමේ අරමුණෙන් තිබෙන  ඕනෑම තාක්ෂණයක් Spyware ලෙස හැදින්වේ. මෙහිදී එම පුද්ගලයාගේ හෝ ආයතනයේ තොරතුරු ලබා ගැනීම සඳහා පරිගණකයේ ස්ථානගත කරනු ලබන වැඩසටහන Spyware ලෙස හැදින්වේ.




Ø Trojan horse (ට්‍රෝජන් හෝර්ස්)
පිටතින් පරිගණක වයිරසයක් ආකාරයෙන් නොපෙනෙන මෙය පරිගණක පද්ධති තුලට පිවිසීමෙන් පසු  පරිගණක වයිරසයක් ආකාරයෙන්  කි‍්‍රයාත්මක වී  පරිගණක පද්ධතිය ක‍්‍රමයෙන් විනාශ කර දමයි.


අයේශ් මධුශංඛ විජයසිංහ

1 comment: