Monday, June 15, 2015

ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොමේෂ් පතිරණ මහතා සමග කථා කළ ඇත්ත





2015 ජනාධිපතිවරණය ශී‍්‍ර ලංකාවේ පැවති සුවිශේෂීම මැතිවරණයක් බවට පත්වුණා.  අන් කවර හේතුවක්වත් නිසා නොව මෙම මැතිවරණය මගින් පෙර නොවූ විරූ ආකාරයේ දේශපාලන සන්ධර්භයක් ශී‍්‍ර ලංකාව තුළ ගොඩනැගීම නිසාවෙන්. විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණයත් සමග එතෙක් පාර්ලිමේන්තුව තුළ බහුතර බලය දිනාගෙන සිටි එක්සත් ජනතා නිදහස් සංධානය විපක්ෂය බවට පත්වූ අතර පාර්ලිමේන්තුව තුළ සුළු බලයක් ලබාගෙන සිටි එක්සත් ජාතික පක්ෂය ඇතුළු සුළු පක්ෂ කිහිපයක් රාජ්‍ය බලය හිමි ආණ්ඩුව බවට පත්විය. මෙම තත්ත්වය අමුතුම ආකාරයේ සහ හැසිරීම් අවස්ථාවක් වුවද ජනතාව දින 100 වැඩපිළිවෙළ පිළිබදව තැබූ විශ්වාසයට ගරු කිරීමක් ලෙස දින 100 සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහය ලබා දීම පිණිස බහුතර විපක්ෂය කටයුතු කරන ආකාරයක් මේ වනවිට දක්නට ලැබේ. නමුත් වර්ථමානයේ ගොඩනැගී ඇති මෙම සංකීරණ දේශපාලන තත්ත්වය පිළිබදව හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ඉදිරි මැතිවරණය ඉලක්ක පිළිබදව එහි ඉදිරිපෙළ නියෝජනය කරන තරුණ දේශපාලන නායකයෙකු වූ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොමේෂ් පතිරණ මහතා සමග අපි ඇත්ත කථා කළා.

සුළුතරය ආණ්ඩුව වී බහුතරය විපක්ෂය වූ මේ අලූත් දේශපාලන තත්ත්වය පිළිබදව ඔබ මොකද හිතන්නේ?

2015 ජනාධිපතිවරණයෙන් මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජයග‍්‍රහණය කළා. එහිදී එතුමාට සහයෝගය ලබාදුන් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ අනෙකුත් කණ්ඩායම් සමග එතුමා අලූත් ආණ්ඩුවක් බිහිකර ගත්තා. ඒ පොරොන්දු වූ දින 100 වැඩසටහන කි‍්‍රයාත්මක කරන්න. එම වැඩසටහනට වහා විරුද්ධ නොවී කොන්දේසි සහිත සහයක් සාධනීය කරුණු වෙනුවෙන් ලබා දීමට පක්ෂය තීරණය කළා. එහිදී ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම හා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් සාධනීය වශයෙන් පියවර ගන්න අපි පක්ෂයක් ලෙස සහයෝගය දෙනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරි ගමන්මග කොහොමද?

මූලිකවම වර්තමානයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති වන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා. එතුමා අවුරුදු 40ට වැඩි කාලයක් මෙම පක්ෂය නියෝජනය කළා. එතුමාත් කැමතියි නැවත වරක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් මෙරට බලයට පත්වනවාට. එය අපට මේවනවිට හැගීගොස් ඇති කරුණක්. එපමණක් නොවෙයි මේ වනවිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරුන් තිදෙනෙතු බිහිකර තිබෙනවා. ඔවුන් තිදෙනාම තවමත් සකී‍්‍රය දේශපාලනයේ නිරතව සිටිනවා. අපේ අරමුණ වන්නේ මීලග මැතිවරණයේදී මෙම හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා හා වත්මන් ජනාධිපතිවරයාව එකම වේදිකාවකට ගෙනවිත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නැවත බලයට පත්කිරීමයි. එම කාර්යයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්තී‍්‍රවරු දැඩි පරිශ‍්‍රමයක් දරමින් මේ දිනවල කටයුතු කරනවා.

2015 ජනාධිපතිවරණයෙන් පසුව සිදු වූ බවට ප‍්‍රකාෂවන පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබදව ඔබ දරන මතය කුමක්ද?

මෙම පහරදීම් පිළිබදව දැනටමත් අපි විපක්ෂ නායකතුමා මාර්ගයෙන් ජනාධිපතිතුමාව දැනුවත් කරලයි තියෙන්නේ. ඒ වගේම මෙම ප‍්‍රහාරයන් අපි දැඩි ලෙස හෙළා දකිනවා. මෙම කි‍්‍රයාවන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට අපි කටයුතු කරනවා. කළුතර පහර දීම මෙන්ම වත්තල ප‍්‍රාදේශීය සභාව තුළ සිදුවූ පහර දීම සම්බන්ධයෙන් අපි මේ වන විටත් මහජන සාමය හා ආපදා කළමණාකරණ හා කි‍්‍රස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අපි  පාර්ලිමේන්තුවට ගෙනත් තියනවා.

ඔබ සදහන් කළ විශ්වාසභංග යොජනාව සම්මත වුවහොත් හදිසි මහමැතිවරණයක් සදහා ආණ්ඩුව විසුරුවා හැරීමක් පිළිබදව අගමැතිතුමා ප‍්‍රකාෂ කර තිබෙනවා. ඒ සම්බන්ධව ඔබේ අදහස?

 ඕනෑම වෙලාවක අපි මැතිවරණයකට සූදානම්. ඒ ගැන සැකයක් නැහැ. හැබැයි මැතිවරණයක් කැදවීමේ බලය අගමැතිට නැහැ. ඒ බලය තියෙන්නේ  ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා මැතිවරණයක් කැදවුවොත් අපි එයට සාර්ථකව මුහුණ දෙනවා. අපි එයට සූදානම්.

දින 100 වැඩසටහනේ ජනපි‍්‍රය පොරොන්දුවක් වූ ව්‍යවස්ථාව සංශෝධනය පිළිබදව ඔබ දරන මතය කුමක්ද?
ව්‍යවස්ථාව අනිවාර්‍යයෙන්ම සංශෝධනය කළ යුතුයි. එහි ඇති ජනතාවට අහිතකර යම් යම් විධිවිධාන ඉවත් කළ යුතුයි. එහිදී විධායක ජනාධිපතිධූරය ඉවත් කිරීම ප‍්‍රධානයි. එනම් ඔහුව රාජකාරී හෝ පෞද්ගලික වරදක් සම්බන්ධයෙන් අධිකරණයට ගෙන ඒමේ හැකියාවක් නොමැතිවීම හා ඔහු වෙත ඒකරාශී වී ඇති යම් යම් පත් කිරීම් සම්බන්ධ බලතල ඉවත් තළ යුතුයි. එවැනි සාධනීය සංශෝධනයන් වෙනුනේ අපි පක්ෂයක් ලෙස උපරිම සහාය ලබා දෙනවා.

ඔබ සිතනවාද දින 100 ඇතුළත ආණ්ඩුව පැවසූ පරිදි විධායක ජනාධිපති ධූරය අහෝසි කළ හැකියි කියා?

දැනට ඉදිරිපත් කර තිබෙන මෙම දින 100 කාලරාමුව මම හිතන ආකාරයට ප‍්‍රමාණවත් මදි. නමුත් මෙම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතුයි. අගමැතිතුමා මේ පිළිබදව යම් ප‍්‍රකාෂයක් කළත් ඒ පිළිබද පනත් කෙටුම්පතක් තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැහැ. නමුත් මගේ අදහස නම් දින 100ක් නැතිනම දින 250ක් හරි 300ක් හරි අරගෙන අඩුපාඩු වලින් තොරව නිසිආකාරයේ පනතක් මගින් මෙම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සිදුකළ යුතුයි.

ආණ්ඩුව විසින් ගෙන යන මෙම දුෂකයන් පිළිබද කතා බහ හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් පමණක්ද?

මම පෞද්ගලිකවම වැරදි කරපු අයට දඩුවම් දෙනවාට කැමතියි. කවුරු වුනත් ජනතාවගේ මුදල් ගසාකාලා තියනවා නම් ඔවුන්ට දඩුවම් ලබා දිය යුතුයි. පාර්ෂවයක සිටියත් එය අනිවාර්යයෙන්ම විය යුතුයි. නමුත් මෙම කි‍්‍රයාවලිය විනිවිදභාවයක් සහිත යාන්ත‍්‍රණයක් තුළ සිදුවිය යුතුයි. එහිදී සාක්ෂි මත පදනම්ව වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා දඩුවම් ලබා දිය යුතුයි. නමුත් බොරුවට මාධ්‍ය මගින් වරදකරුවෙකු වීමට ප‍්‍රථමයෙන් පූර්ව විනිශ්චයන්හි සිට යමෙකුට මඩ ගැසීමට මම විරුද්ධයි. චෝදනා ඔප්පු වී වරදකරුවෙකු කළ හැකි වුවත් ඊට ප‍්‍රථමයෙන් කරන මෙම මාධ්‍ය ප‍්‍රචාර වලට මම විරුද්ධයි.

අපේ‍්‍රල් මහ මැතිවරණයට සූදානම කොහොමද?

අපේ‍්‍රල් මහ මැතිවරණයට අපි සූදානම්. මේ වන විටත් අපි පෞද්ගලික මට්ටමෙන් දැනුවත් කිරීම ආරම්භ කරලයි තියෙන්නේ. මූලික වශයෙන් 2015 ජනාධිපතිවරණයේදී අපට අහිමි වූ දමිළ හා මුස්ලිම් ජන කොටස්වල විශ්වාසය මෙවර අපේ‍්‍රල් මහ මැතිවරණයේදී දිනා ගැනීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් යනවා.

එතකොට මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ තනි පක්ෂයක් ලෙසද? නැතිනම් සුපුරුදු එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙසද?

පැහැදිලිවම අපි සුපුරුදු එක්සත් ජනතා නිදහස් සංධානය ලෙස අපේ‍්‍රල් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න මේ වනවිට තීරණය කර තිබෙනවා. එමගින් පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් දිනාගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ නව ආණ්ඩුවක් බිහි කරන්න වැඩ කටයුතු කරනවා.


සාකච්ජාව - අයේශ් මධුශංඛ විජයසිංහ

No comments:

Post a Comment