Monday, June 15, 2015

නංගිව පෙන්නා අක්කාව දීග දීම




දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම දෙමාපියන්ගේ වැදගත් බලාපොරොත්තුවකි. මේ නිසා බොහෝ දෙමාපියන් මහත් උනන්දුවකින් තම දරුවා හොද පාසලකට ඇතුළත් කිරීමට උත්සාහ දරයි. 1947 මැයි 27 දින එවකට රාජ්‍ය මණ්ත‍්‍රණ සභාව විසින් සම්මත කරන ලද අධ්‍යාපන පනත මගින් මෙරටේ සියළුම දරුවන්ගේ අධ්‍යාපන බලාපොරොත්තුව නිදහස් අධ්‍යපන වරප‍්‍රසාදය මගින් තහවුරු කරන ලද්දේය. මෙම වරප‍්‍රසාදය නිසාවෙන් ක‍්‍රමයෙන් ලංකාවේ අධ්‍යාපන තත්ත්වය දියුණු වූ අතර එමගින් තුන්වන ලෝකයේ රටක් ලෙස සළකන ලද ශී‍්‍ර ලංකාව සාක්ෂරතාවය අතින් 90% සීමාව පසුකල ආසියානු රටක් බවට පත්වීමට එතරම් කළක් ගතනොවීය. නමුත් 1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය විසින් හදුන්වා දුන් නව ලිබරල් ප‍්‍රතිසංස්කරණයන් මගින් මෙරට එතෙක් පැවති නිදහස් අධ්‍යාපනය වෙත කණකොක් බලපෑම එල්ලවන්නට විය. 1981 ධවල පති‍්‍රකාව ගෙනඒම මගින් නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදය රටේ සුළුතරයක් වූ ධනේෂ්වර ආර්ථිකයේ උරුමකරුවන්ගේ අනුප‍්‍රාප්තිකයන් වෙත පවරා දීමට ඔවුන් උත්සාහ දැරුවේ බහුතරය වූ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන බලාපොරොත්තු නොසලකා හරිමිනි. එම උත්සාහය මෙරට ශිෂ්‍ය ප‍්‍රජාවගේ මැදිහත්වීමෙන් ව්‍යාර්ථ කළද, මෙරට අධ්‍යාපනය තුළ ලිබරල් ධනේෂ්වර හස්තය නෛතික නොවන රාමුවක සිට එතැන්පටන් කි‍්‍රයාත්මක විය. 80 දශකයේ මුල් අවුරුදු තුන ඇතුළත එක්සත් ජාතික පක්ෂය විසින් පාසැල් තුළ නෛතිකව මුදල් අයකර ගැනීමේ පළමු නීතිය ශී‍්‍ර ලංකාවට හදුන්වා අතර එය වසරකට රුපියල් 3ක පහසුකම් ගාස්තුවකි. ක‍්‍රමයෙන් එය රුපියල් 50 සිට රුපියල් 600 දක්වා වැඩිවූ අතර වර්තමානයේ මෙම මුදලට අමතරව විවිධ නාමයන්ගෙන් විවිධ තරාතිරමෙන් පාසැල් තුළ මුදල් එකතු කිරීම දෙමාපියන්ට විශාල පීඩනයක් එල්ල කර තිබේ.

දින 100 වැඩ පිළිවෙළ ම`ගින් මෙරට දරුවන්ගේ  නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත තත්ත්වයකට පත් කිරීම හා එමගින් නව අභියෝග ජය ගැනීම, එවකට ජනාධිපති අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ ජනපි‍්‍රය පොරොන්දුවක් විය. 2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව එතුමා විසින් පත් කළ නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අතුරු අය වැය යෝජනා මගින් එකී බලාපොරොත්තු ඉටුවන ලකුණු ඇස් පනාපිටම දර්ශනය වන්නට වූයේ අය වැය යෝජනා මගින් අධ්‍යාපනය වෙනුවෙන් 6% වෙන් කිරීමට යෝජනා කිරීමත් සමගය. එපමණක් නොව නව රජයේ අධ්‍යාපන ඇමතිවරයා වූ අකිල විරාජ් කාරියවසම් විසින් තම ධූරයේ වැඩ භාරගත් පළමු දිනයේදීම ප‍්‍රකාෂ කර සිටියේ ”පාසැල් වලින් අනවශ්‍ය ලෙස මුදල් අය කිරීම් ඉදිරියේදී නවත්තවා” යනුවෙනි. මෙම ප‍්‍රකාෂය වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය ම`ගින් ඉතා ඉහළ ප‍්‍රචාරයක් ලබා දුන් අතර මෙමගින් පැසැල් යන වයසේ දරුවන් පසුවන දෙමාපියන්ට සිතට සහනයක් ඉතා සුළු කළකට වුවද සපයන ලදී. පහසුකම්, සේවා, ආරක්ෂක, ගොඩනැගිලි, කී‍්‍රඩා, ඩෙස් බංක, භාෂා දින, වර්ණ ප‍්‍රධාන උත්සව ආදී වූ නානාවිධ මුදල් අය කිරීම් වලින් ඔවුන් නිදහස් වේය යන චේතනාව මතය. නමුත් එම චේතනාවන් මේවන විටත් පුපුරාගොස් හමාරය. 2015 ජනවාරි 29 වන දින පාර්ලිමේන්තුව තුළදී 2015 අංක 05 දරණ චක‍්‍රලේඛයක් ඉදිරිපත් කිරීමත් සමගය මෙම චක‍්‍රලේඛයේ මාතෘකාව වන්නේ ”පාසැල් වලින් අවිධිමත් ලෙස මුදල් අය කර ගැනීම තහනම් කිරීම” යනුවෙන්. නමුත් මෙහි අන්තර්ගත විධිවිධාන එකින් එකට විමර්ෂණය කිරීමේදී මෙහි පවතින යථා ස්වභාවය මැනවින් දර්ශනය වන්නට විය. මෙය කොළය වසා ගැසීමකි එසේත් නැතිනම් එජාපය පෙර කළාක් මෙන් මෙය නංගිව පෙන්වා අක්කාව දීග දීමකි.

මෙම චක‍්‍රලේඛය මගින් ඉතා පැහැදිලි ලෙසම විදුහල්පතිවරයාට ගුරුවරුන්ගේ හා අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් හැර පාසල තුළ සිදුවන සියළුම කටයුතු වෙනුවෙන් දරුවන්ගෙන් නැතිනම් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීමේ බලය පවරා දී තිබේ. රණසිංහ පේ‍්‍රමදාස යුගය තුළදී පාසල තුළින්ම මුදල් සපයා ගැනීම වෙනුවෙන් පිහිටුවීමට උත්සාහ දරන ලද සංවර්ධන සභා සංකල්පය නැවත පණගැන්වීමට දැරූ උත්සාහයක් ලෙසද මෙය හැදින්විය හැකි. මෙම පනතෙහි මුල් වගන්ති මගින් මෙම මුදල් අය කර ගැනීම පිළිබදව සදහන්ව ඇත්තේ මේ ආකාරයෙනි.

1 - රජයේ පාසැල්වල විවිධ කටයුතු හොවා දක්වමින් සිසුන්ගෙන් දෙමාපියන්ගෙන් මුදල් අය කිරීම බහුලව සිදුවන බවට පසුගිය කාලය පුරාවටම නිරීක්ෂණය විය. එමෙන්ම හම මුදල් එකතු කිරීමේ කි‍්‍රයාවලියේ විධිමත්භාවයක් ප‍්‍රදර්ශණය කිරීම සදහා පාසල් සංවර්ධන සමිති ආදි, ශිෂ්‍ය සංගම් වලට අමතරව පාන්තිකව සුභසාධක සංගම් ආදී වූ ව්‍යුහයන් නිර්මාණය කරගනිමින් මුදල් අය කර ගැනීමද සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත.

2 -  වත්මන් රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුව වහාම කි‍්‍රයාත්මකවන පරිදී පාසල්වල සිසුන්ගෙන් හා දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම සපුරා තහනම් කරමි. මෙය පැහැර හරිමින් ක‍්‍රියා කරන අවස්ථා වෙතොත් විදුහල්පති වගකිව යුතුය.
මෙම මුල් වගන්ති ද්විත්වය කියවීම තුළින් වත්මන් රජය පාසල් තුළ මුදල් අය කිරීම් වහා කි‍්‍රයාත්මක වන පරිදි තහනම් කිරීමට සැරසෙන බවක් පෙන්නුම් කරයි. නමුත් මෙම චක‍්‍රලේඛයෙහි මින් පසුව සදහන් වන කරුණු මගින් මෙම වගන්ති ද්විත්වයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරයි. එය පහත පරිදි දැක්විය හැකිය,

5 - පාසල් විදුහල්පතිවරයෙකුට නිසි පරිදි නිල කුවිතාන්සියක් නිකුත් කොට මුදල් අය කරගත හැකි   අවස්ථා පහත පරිදි වේ.

 5.1 - අනුමත පහසුකම් හා සේවා ගාස්තු
 5.2 - පාසලේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට [ විදුලි බිල, දුරකථන      බිල, ආරක්ෂක කටයුතු වැනි මූල්‍ය අවශ්‍යතා]

6 - අංක 5.2 යටතේ මුදල් අය කර ගැනීමට පෙර සෑම විදුහල්පතිවරයෙකුම පහත කි‍්‍රයාවලිය අනුමත කළ යුතුය,
                ] පාසලේ අත්‍යාවශ්‍ය වියදම් ඇස්තමේන්තුවක් සකස් කිරීම.
                ] එම ඇස්තමේන්තුවට අනුව අම්‍යාපන අමාත්‍යංශයේ හෝ වෙනත් රාජ්‍ය ආයතන වලින් ලැබෙන මුදල් පුරෝකථනය කොට අ හා ආ අතර පරතරය ගණනය කිරීම.
                ]  එම පරතරය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවෙකුට අදාල වන මුදල ගණනය කිරීම.
                ] ඉහත පරිදි සකස් කළ වාර්ථාව අධ්‍යාපන අමාත්‍යංශයට එවා එක් සිසුවෙකුගෙන් පාසලේ වියදම පියවා ගැනීමට අවශ්‍ය මුදල් අය කිරීම සදහා අනුමැතිය ලබා ගැනීම.

7.2 නීත්‍යානුකූලව ගාස්තු ගෙවීමට අපහසු ශිෂ්‍යයින් ග‍්‍රාම නිළධාරීවරයාගේ සහතිකයක් රැගෙන ආ යුතුයි.
මෙම 5, 6, 7 යන විධිවිධාන වලින් පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කරුණ වන්නේ පාසල් තුළ මුදල් අය කිරීම නීතිගත කර ඇති බවයි. මේ වනවිටත් මෙම චක‍්‍රලේඛය සියළුම අධ්‍යාපන අධ්‍යක්ෂකවරු, ලේකම්වරු, කළාප අධ්‍යක්ෂකවරු හා විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව විශ්වාසවන්ත ආරංච් මාර්ග සදහන් කරයි. පාසල් තුළ මුදල් අය කිරීම  එදා පටන්ම සිදු වූවක් වුවද එයට නීතිමය භාවයක් ලැබී නොතිබුනු නිසා එම මුදල් අනිවාර්‍යයෙන්ම ගෙවිය යුත්තක් නොවීය. නමුත් මෙම චක‍්‍රලේඛය මගින් මෙයට නෛතික පිළිගැනීමක් ලබා දී තිබෙන නිසා දෙමාපියන් මෙම මුදල් ගෙවීම සදහා අනිවාර්‍යයෙන් බැදී සිටියි.  නංගී පෙන්වා අක්කා දීග දුන් කල මනමාලයාට අත් වූ ඉරණම මෙවර දින 100 තුළ හිමිවූයේ පාසල් දරුවාට හා ඔවුන්ගේ දෙමාපියන්ටය.


 2015 අතුරු අය වැය ඉදිරිපත් කරමින් මහා පුරාජේරු නගමින් අධ්‍යාපනයට 6%ක් වෙන් කරනවා කියූ මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් යමක් ඇසීමට ඇත. එනම් වෙන් කරනවාය කියූ 6% න් එම පාසල් වියදම් ගෙවා දැමිය නොහැකිද? යන්නයි. සත්‍යවශයෙන්ම මෙම සිදුවන යහපාලනය දෙස බලාසිටීමෙන් තේරුම් යන කරුණ නම් අධ්‍යාපනය වෙනුවෙන්ද 6%ක් වෙන් වන්නේ නැති බවයි. මෙම චක‍්‍රලේඛය මගින් හුදෙක්ම මෙතෙක් කල් පැවති අවිධිමත්ව මුදල් අය කිරීම තහනම් කොට විධිමත්ව අහිංසක දරුවන්ගෙන් හා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් රිසිට් පතක් ගෙන මුදල් අය කිරීමට අවස්ථාව උදා කරදීම පිළිබදව, ඇත්තෙන්ම අධ්‍යාපන ඇමතිවරයාගේ බුද්ධිමහිමයට ස්තුති කළ යුතුය. මන්ද මෑත ඉතිහාසයේ පාසල් ගාස්තු ගෙවීමට නොහැකිව පොල් ගෙඩි සොරකම් කිරීමට පවා දරුවන්ට සිදු වූ පරිසරයක් තුළ පුංචි රිසිට් පතක් ලබා දීම මගින් එම තත්ත්වය මග හැරගත හැකි යැයි අධ්‍යාපන ඇමතිවරයා සිතූ නිසාවෙන්ය. මෙවැනි දරුවන් පිලිබදව සිතන අධ්‍යාපන ඇමතිවරුන් සිටින රටක් තුළ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබදව දෙමාපියන් කිසිදු බියක් ඇති කරගත යුතු නැත.  බියක් ඇතිකරගත යුත්තේ මෙවැනි තීරණ නිසාවෙන් අධ්‍යාපන වරප‍්‍රසාදය අහිමි වූ කලක ඔවුන් තම ජීවිතය පිළිබදව ගන්නා තීරණය පිළිබදවය.

අයේශ් මධුශංඛ විජයසිංහ

No comments:

Post a Comment