Saturday, July 23, 2016

දයාබර යධාර්ථන් මිතුරා වෙතටයි….




පසුගියදා යාපනය සරසවිය තුළ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විවිධ මත මේ වන විට සමාජ ගත වෙමින් පවතී. මෙම ගැටුම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ විද්‍යාර්ථීයෙකු විසින් තම අදහස් ලිපියකට ගොනු කරමින් සිංහල විශ්වවිද්‍යාල ප‍්‍රජාව වෙත යොමු කර තිබේ. මේ එම අදහසට පිළිතුර වෙනුවෙන් ලියැවෙන ලිපියයි.

දයාබර යධාර්ථන් මිතුර,

ඔබ ලියූ ලිපිය මා කියවූ අතර එය කියවීමෙන් පසු මෙම ලිපිය ලීවීම වෙනුවෙන් මා සූදානම් කරවූවා යැයි කිවහොත් මා නිවැරදියි. පසුගිය සතියේ යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධිය පිළිබඳව මා තවමත් හරි හැටි අවබෝධයකින් පසුනොවෙමි. සිදුවූවෙය් කුමක්ද හෝ ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව හෝ මා හට අල්ප මාත‍්‍රයක හෝ දැනීමක් නොමැත. නමුත් මේවන විට දකුණේ පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන් උතුරේ මෙන්ම එම සිදුවීම පිළිබඳව පුරෝකථනය කොට වැරදිකරුවන්ට ද`ඩුවම් දීමටද නියමිත බව ඔබටත් ආරංචි වන්නට ඇති බව මාගේ හැගීමයි.

දයාබර යධාර්ථන් වසර 30 යුද්ධය මුලූමහත් ශ්‍රී ලංකාවටම ජාතියක්, ආගමක්, කුලයක් නොබලාම බැට දුන් බව ඔබත් මමත් හොඳින් දන්නා කරුණකි. මේ යුද්ධය නිසාවෙන් ඔබටත් මටත් රටටත් අහිමි වූ දේ මිල කළ නොහැකි බවද ඔබත් මාත් දන්නා කරණකි. ඔබත් මාත් රටත් හරි හැටි නොදන්නා කරුණ නම් මෙවන් වූ යුද්ධයක් ඇති වූයේ කෙසේද යන කරුණයි. අද ඇති වී තිබෙන තත්ත්වයද මීට සමාන බව දැන් ඔබට වැටහෙනවා ඇතැයි කියා මට හිතෙනවා. අප මරාගන්නේ කුමටද? ඇත්තටම හේතුවක් තිබෙනවාද? එසේත් නැතිනම් අප අන්‍යයන් වෙනුවෙන් පාවිච්චි වනවාද? අප පිළිතුරු සෙවිය යුත්තේ මෙයටයි.

ඒ වෙනුවෙන් මා ඉතිහාසය මදක් මතක් කරන්නනම්. මා සිතන ආකාරයට ඉංගී‍්‍රසි ජාතීන් විසින් 1815දී අප රට මුලූමනින්ම යටත් කර ගැනීමෙන් පසු අප රට තුළ ඔවුන්ගේ පාලනය ගෙන යාමේ පහසුව වෙනුවෙන් ඔවුන් විවිධ ආණ්ඩුක‍්‍රමයන් මෙරටට හඳුන්වා දුන්නා පමණක් නොව එමගින් අපගේ චිත්ත සන්තානයන් පවා පාලනය කිරීමට ඔවුන් උත්සාහ ගත්තා. එහි කූඨ ප‍්‍රාප්තිය ලෙස ව්‍යවස්ථාධායක හා විධායක සභාවන් වෙනුවෙන් සාමාජිකයන් පත් කිරීම ජාතිමූල පදනම මත සිදුවුණා. එහි ප‍්‍රතිඵලය වූයේ එතෙක් සාමකාමීව ගැටලූ විසඳාගත් අප සැම ජාතීන් වශයෙන් සිතා අප ගැටලූ විසඳා ගැනීමට එකිනෙකාගේ ජාතිය තුළ ගොඩ වැඩි කරගැනීමේ සටනක් සිදු කළා. එමගින් අප අතර එකිනෙකා වෙනුවෙනු තිබූ විශ්වාසය, ආදරය, ගෞරව වෙනුවට සැකය, වෛරය හා කුහකත්වය වර්ධනය වූවා. බටහිර ජාතීන්ට අවශ්‍ය වූවේද එයයි. අප ජාතීන් වශයෙන් භේද භින්න කර ඔවුන්ට එරෙහිව රටක් ලෙස අරගල කිරීමේ අවස්ථාව නැති කර දැමීමයි. එය ඔවුන් ඉතා සාර්ථක අන්දමින් සිදු පමණක් නොව සිංහළ, දෙමළ හා මුස්ලිම් යන සියලූ ජාතීන් ඊට කිසිඳු භේදයකින් තොරව හසු වීමද සිදුවිය . (මෙම ක‍්‍රමය දේශපාලන විද්‍යාවට අනුව බෙදා වෙන් කර පාලනය කිරීමේ උපක‍්‍රමය Divide and Rule Concept ලෙස දැක්වේ).මා මිතුර, එකළ සුද්දන්ගේ ගැට වලට හසු වූ අප සියලූ දෙන ඉන් කිසිඳු පාඩමක් ඉගෙන ගෙන නොමැති බවක් අද මෙම සිදුවන සිදුවීම් වලින් මනාව පෙනෙන්නට තිබේ

1948 දී සුද්දන් අප රට අතහැර ගියද ඔවුන් අප චිත්ත සන්තානයේ පැල කළ සැකය බිය අවිශ්වාස අප සිත් තුළ එලෙසින්ම තබා යෑමට කටයුතු කළෝය. ඒ ඔවුන්ට පසු මෙරට භාර ගැනීමට සැරසෙන ඔවුන්ගේ අනුගාමිකයන්ට කිසිඳු බාධාවකින් තොරව අපව හැසිරවීමට අවශ්‍ය ඉඩ කඩ සළසා දීමටයි. 50ට 50 ඉල්ලීම, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම වැනි තත්ත්වයන් උදා වන්නේ එහි ප‍්‍රතිඵල ලෙස යැයි කීවොත් මා නිවැරදියි යැයි මට සිතේ. එවැනි තත්ත්වයන් තුළින් සිදුවූයේ අප ජාතීන් තුළ තව තවත් අවිශ්වාසය වර්ධනය වීමයි. එය පුපුරා යන්නේ 1983 අප රට ම්ලේච්ඡයන්ගේ පාරාදීසයක් බවට ලොව හංවඩු ගැසූ කළු ජූලියත් සම`ගය. මෙයද දේශපාලන න්‍යාය පත‍්‍රයක ප‍්‍රතිඵලයක් මත සිදු වූ සිද්ධි දාමයක් බවට අදට හෙළි වී හමාරය. නමුත් ඉන් ඇති කළ විනාශය මිල කළ හැකිද? විනාශ වූ ජීවිත මිල කළ හැකිද? ඉන් අනතුරුව වසර 30 පුරා දිව ගිය යුද්ධය අමතක කළ හැකිද? නැත. සිතීමට ඇත්තේ එක් දෙයයි ඒ අප එදා පාවිච්චි වූයේ කා වෙනුවෙන් ද යන්නයි. අප පාවිච්චි වූයේ අප ජාතීන් වෙනුවෙන් ද? අපේ සහෝදරයින් වෙනුවෙන් ද? නැත අප පාවිච්චි වූයේ අප ආදරණීයයන් වෙනුවෙන් නොව අප පාවිච්චි වූයේ දේශපේ‍්‍රමීන් යැයි කියාගන්නා ඊනියා දේශපාලකයන් හා ඔවුන් වෙනුවෙන් දර දිය අදින ආයුධ වෙළෙන්දන් වෙනුවෙන් බවයි.

මා ප්‍රිය මිතුර, අද තත්ත්වය ද එදා තරම්ම වෙනසක් නැත. පාලකයන්ගේ මුහුණු හා නම් පමණක් වෙනස් වී ඇත. නමුත් ක්‍රියා කිරීම එදාටත් වඩා අන්තය. එකෙක් නැති වූ බලය නැවත ලබා ගැනීමට අප අතර විරසක ඇති කිරීමට මාන බලද්දී තවකෙක් අමාරුවෙන් ලබා ගත් බලය ආරක්ෂා කර ගැනීමට අපව බිඳවීමට උත්සාහ දරයි. මෙයයි දේශපාලන කී‍්‍රඩාව අප එහි ඉත්තන් පමණකි. අප වැනි වූ ඉත්තන් ඉතා වේගයෙන් එහා මෙහා කිරීමට ඔවුන් දනියි. ඊට විවිධ සිද්ධි නිර්මාණය කරයි. පෝස්ටර්, පිළිම කැඞීම, කලූ තෙල් ගැසීම්, ජල පවිත‍්‍රකාරක සිද්ධිය මේ සියල්ල ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර වල කොටස්ය. ඊට ඔබත් මමත් ඇතුලූ සමස්ථ සමාජය හසු වී හමාරය. එහි ප‍්‍රතිඵලය පසුගියදා ඇති වූ ගැටුමය.

ගැටුම් තිබෙන තැන මීලග මැතිවරණයට ඔවුන්ට විකීණීමට දෙයක් ඇත. පසුගිය අවුරුදු තිහ පුරා ඔවුන් සිදු කළේ එයයි. එය ඉදිරියට ද කිරීමට ඔවුන් නොපැකිළව කටයුතු කරනු ඇත. සිද්ධි මවනු ඇත. දමිළ සමාජය හා සිංහළ සමාජය මින් බේරා ගැනීමේ වගකීම ඇත්තේ ඔබ හා මා දෑත් තුළය. ඔවුන්ට නිවැරදි මග පෙන්විය යුත්තේ අපය. ඒ අන් කවර හේතුවක් නිසාවත් නොව අප මෙරට ඉහළම අධ්‍යාපනය ලබන එම සමාජයන් සම`ගම හැදී වැඩුණු  එකම කොට්ඨාශය අප වන නිසාවෙනි. එහෙයින් තව දුරටත් අපව වෙන් කිරීමට ඔවුන්ට ඉඩ නොදීමේ වගකීමද පැවරී ඇත්තේ අපටමය. එබැවින් පාලනාධිකාරය ප‍්‍රශ්න විසඳනතුරු නොසිට ශිෂ්‍යයන් ලෙස අවබෝධයෙන් කටයුතු කර ප‍්‍රශ්න වලට විසඳුම් සොයා ගත යුතුය. එවිට ඔවුන්ට සිද්ධි මැවීමට හැකියාවක් නොලැබෙනු ඇත.

මා ප්‍රිය මිතුර මාගේ ලිපිය අවසන් කරන්නට මත්තේන් මා සවන වැකුණ ගාථාවකින් ලිපිය අවසන් කරන්නට මා කැමතියි. මේ ගාථාව කොසඹෑ නුවර කළහා කරපු භික්ෂූන් වහන්සේ පිරිසක් අමතා බුදු රජාණන් වහන්සේ දේශනා කළ ගාථාවකි

පරේචන විජානන්ති – මයමෙත්ත යමාමසේ
යේච තත්ථ විජානත්තී – තතෝ සම්මන්ති මේධගා

මෙහි තේරුම නම් මෙලෙස කෝළහළ කරන්න ගියහොත් විනාශ වන්නේ අපමය යන්න කෝළාහළ කරන උදවිය නොදන්නෝය. නමුත් කෝළහළ වලින් වැනසෙන්නේ අපමය යන්න ඔවුන්ට අවබෝධ වනවා නම් ඒ තුළින්ම කෝළහළය සන්සිඳෙන්නේය යන්නයි.

මා ප්‍රිය මිතුර අප අනුන්ට සිනහවක් වූ වාර අනන්තය වසර තිහ පුරා සිදුවූයේ ද එයයි. අප අනුනන්ට සිනහවක් නොවී අප එකිනෙකාට ආදරයෙන් සිනහ වෙමු, ප්‍රේමයෙන් වැළඳ ගමු. ඒ දවස වැඩි ඈතකට නොගෙන යාමට අප දෙදෙනා වග බලා ගනිමු.

ඔබට තෙරුවන් සරණයි!

මෙයට,
ඔබේ නොදුටු මිතුරා,
අයේෂ් මධුශංඛ

3 comments: