Sunday, July 24, 2016

නිදහස් ජනමාධ්‍ය දිනය වචනයට පමණක් සීමා වූවක්ද?


මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
අංශාධිපති 
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය


වසරකට වරක් එළඹෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය යෙදී තිබෙන්නේ මැයි 03 දිනයි. සත්‍යවශයෙන්ම ජනමාධ්‍යට හෝ ජනමාධ්‍යවේදියාට නිදහසක් තිබෙනවාද? නිදහස් ජනමාධ්‍ය දිනය වචනයට පමණක් සීමා වූවක්ද? මේ පිළිබඳව අප ඇත්ත කථා කළා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමගයි


ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය මැයි මස 03 දින සමරන්න සූදානම් වන මේ මොහොතේ නිදහස් ජනමාධ්‍ය සංකල්පය ලෝකය තුළ කොතරම් දුරට වලංගුද?

ලෝකයේ වර්ධනය වන සමාජ දේශපාලන තත්ත්වයන් පිලිබඳව සාකච්ඡා කරන විට ජනමාධ්‍ය අවධානම් සහගත අවධානම් සහග. වෘත්තියක් බවට අද පත්ව තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව වන්නේ ලෝකය තුළ වර්ධනය වෙමින් පවතින අස්ථාවර දේශපාලන තත්ත්වයයි. එහිදී ලෝකයේ සියලුම ප්‍රදේශයන්ගේ පාහේ සිවිල් යුධ ගැටුම් ඇති වී තිබෙනවා. ත්‍රස්ථවාදය පැතිරී තිබෙනවා. මෙම තත්ත්වය මත ජනමාධ්‍ය කර්මාන්තය යම් ආකාරයක අවධානම් සහගත අවස්ථාවකට පත් වී තිබෙනවා. යුධ ගැටුමකදී මුලින්ම මිය යන්නේ සත්‍ය බවට ප්‍රකට කියමක් තිබෙනවා. එහිදී නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව සමාජයට අහිමි වනවා. මෙය බරපතල තත්ත්වයක්. මෙහිදී  ජනමාධ්‍ය කරුවාට හිමිවන වගකීම වන්නේ අවි බලය පරාජය කර සත්‍ය සමාජ ගතකිරීමයි. පාලකයා හා පාලිතයා අතර රහස් නොතබා ඒවා අණාවරණය කිරීමයි. නමුත් වර්තමානයේ උද්ගතව තිබෙන මෙම තත්ත්වය මත මෙම නිදහස් ජනමාධ්‍ය තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමේ අපහසුතාවයක් දක්නට ලැබෙනවා.

ලෝකයේ නිදහස් ජනමාධ්‍ය පිළිබඳ තත්ත්වය එසේ වන විට ශ්‍රී ලංකාව තුළ මෙම තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පිළිබඳව අවධානය යොමු කරන විට මතුපිටින් පෙනෙන්නට තිබෙන ආකාරයට කිසිඳු බාධාවකින් තොරව පුවත්පත්, ගුවන්විදුලි නාළිකා, රූපාහිනී නාළිකා, සමාජ ජාල වෙබ් අඩවි රාශියක් අපට පෙනෙන්නට තිබෙනවා. නමුත් මෙහි න්‍යෂ්ඨියට ගමන් කළ විට ඇත්තටම එම ජනමාධ්‍යයන්ට නිදහසක් තිබෙනවාද යන්න ගැටලුවක්. අපේ රට කෝටි 02ට අධික ජනගහණයක් වෙසෙන ඉන්  කෝටි එකහමාරකට ආසන්න ජනතාවකට සාක්ෂරතාවය තියන රටක් වුවත් එම ජනතාව නිසි ලෙස ජනමාධ්‍ය භාවිත කරනවාද යන්න ගැටලුවක්. ජනමාධය ආයතන පවා ජනතාව වෙනුවෙන් සේවය කරනවා වෙනුවට පාලන තන්ත්‍රය හා තම හිමිකාරීත්වය වෙනුවෙන් කටයුතු කරන පසුබිමක් මේ තත්ත්වය තුළ ගොඩනැගී තිබෙනවා. එමනිසා ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය වෘත්තිකත්වයක් තවමත් ඇති වී නැහැ. ඉන් අදහස් වන්නේ අප රට තුළද නිදහස් ජනමාධ්‍යයක් පවතින්නේ නැහැයි කියන කාරණයයි.

මෙවන් තත්ත්වයක් ඇතිවීමට රජය කෙතරම් දුරට වගකිව යුතු යැයි ඔබ සිතනවාද?

මෙවන් තත්ත්වයක් ඇතිවීමට රජය ඍජු හා වක්‍ර යන දෙඅංශයෙන්ම වගකිව යුතුයි. මන්ද රටක ප්‍රධානතම අංශයන් වූ දේශපාලනික, ආර්ථික බලය මෙහෙය වන්නේ එම රටේ රජය විසිනි. රටක ව්‍යාපාරික ප්‍රජාව තම ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් රජයන් සමඟ විවිධ සම්බන්ධතා ගොඩ නගා ගන්නා අතර එමගින් ඔවුන් රටේ දේශපාලන බලය වෙතද යම් බලපෑමක් කිරීමට උත්සාහ දරයි. ඒ වෙනුවෙන් ඔවුන් යොදා ගන්නේ ජනමාධ්‍යයයි. මෙහිදී රජයන් විසින් එම ව්‍යාපාරිකයන් වෙනුවෙන් ජනමාධ්‍ය ආයතන පිහිටුවීමට බලපත්‍ර ලබා දෙන අතර තම ව්‍යාපාරික නිෂ්පාදනයන් ජනමාධ්‍ය ඔස්සේ ජනතාවට ලඟා කර දීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව උදා කරදෙන්නේද රජයයි. එහිදී ව්‍යාපාරිකයන් පවතින යථාර්ථය වසන් කරමින් සමාජය තුළ මිත්‍යාව පතුරුවමින් ජනමාධ්‍යයේ මූලික සමාජ වගකීම බිඳදමමින් කටයුතු කරන්නේ හුදෙක්ම තම ලාභය මත පදනම්ව සිටිමිනි. විවිධ ඖෂධ වර්ග, රසකැවිලි වර්ග, දුම්වැටි, රසකාරක වර්ග වැනි මිනිස් ශරීරයට අහිත කර දේ පිළිබඳව තොරතුරු වර්තමාන ජනමාධ්‍ය මගින් අණාවරණය නොවීම කණගාටුවට කරුණක්. තොරතුරු වසන් කිරීම තිබෙන්නේ කොතනද එතන නිදහස් ජනමාධ්‍යයක් නෙමැත.

එතකොට ඔබතුමන් කියන ආකාරයට නිදහස් මාධ්‍ය සංකල්පය ලංකාව තුළ හුදු වචනයට පමණක් සීමා වූවක්?

පැහැදිලිවම නිදහස් මාධ්‍ය සංකල්පය ලංකාව තුළ හුදු වචනයට පමණක් සීමා වූවක්. එසේ ප්‍රකාශ කිරීමට තිබෙන ප්‍රධාන හේතුව වන්නේ 70 80 දශකයන් හීදී බිහි වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රභලයන් පසුව කටයුතු කළේ කෙසේද? ඔවුන් බහුතරයක් වරදාන වරප්‍රසාද වෙනුවෙන් සාමාන්‍ය ජනතාව අතහැර රජයන් සමඟ සමීපව කටයුතු කිරීමට පෙළඹුනා. විශේෂයෙන්ම විධායක ජනාධිපතිවරුන්ගේ ලේකම්ධූරවල පවා ඔවුන් කටයුතු කළා. එසේ බලනවිට ඔවුන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයන් ගොඩනගා ඇත්තේ ඔවුන්ගේ වාසිය වෙනුවෙන් පමණයි. ජනමාධ්‍යවේදීන් ඝාතනය වීම්, පැහැර ගැනීම්, පහර දීම්, අතුරුදහන් කිරීම් අදටත් සිදු වෙනවා. 1977 පසු මේ දක්වා ජාති ආගම් භේදයකින් තොරව ජනමාධ්‍යවේදීන් 100 අධික පිරිසක් ඝාතනය වී අවසන් නමුත් අදටත් ඒ එක් අයෙකුගේ මරණයක් වෙනුවෙන් වත් චූදිතයන් සොයා ගෙන නැහැ. එපමණක් නොවෙයි තම සහෝදර ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පවා හඬක් නොනගන ජනමාධ්‍ය කර්මාන්තයක් මේ වන විට බිහි වී අවසන්. එවන් වටපිටාවක් තුළ නිදහස් ජනමාධ්‍ය කියන්නේ හුදු ප්‍රලාපයක් පමණයි.

නිදහස් මාධ්‍ය සංකල්පයක් නැතිනම් යහපත් මාධ්‍ය සංස්කෘතියක් ලංකාව තුළ ඇති කිරීමට ගත යුතු පියවර ලෙස ඔබතුමන් දකින්නේ මොනවාද?

මා කලින් සඳහන් කළ ආකාරයට ප්‍රථමයෙන්ම දිවයින ඡායාරූප ශිල්පී විමල් සුරේන්ද්‍රගේ සිට එක්නැලිගොඩ දක්වා ඝාතනය වූ  සියලු ජනමාධ්‍යවේදීන්ගේ ඝාතනයන් පිළිබඳව සෙවීමට කොමිසමක් පත් කර එවන් තත්ත්වයක් යළි ඇති නොවීමට වග බලා ගත යුතුයි. තවද ජනමාධ්‍යයන්ට නිදහසේ කටයුතු කරගෙන යාමට අවශ්‍ය වටපිටාවක් සැකසිය යුතුයි. එහිදී හිමිකාරීත්වයෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගේ බලපෑමෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වෙනුවෙන් රජය මැදිහත් විය යුතුයි. එපමණක් නොව එසේ නිර්මාණය කරන පරිසරයක් තුළ ජනමාධ්‍ය ආචාරදර්මයන්ට අනුකූලව කටයුතු කළ යුතුයි. එහිදී නව ආකෘති කරා ඔවුන් යොමු විය යුතුයි. ජනමාධ්‍යයන් වෙනුවෙන් යම් ආකාරයක නියාමනයන් සිදු කළ යුතුයි එහි අදහස වාරණය කිරීමක් සිදු නොකර අධ්‍යාපන හා උසස් රසවින්දන අවශතා වෙනුවෙන් නිර්මාණය වන අන්තරගතයන් හට ජනමාධය තුළ වැඩි ඉඩකඩක් ලබා දීමට රජය මැදිහත් විය යුතු වීමයි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අමතරව ජනමාධ්‍ය අධ්‍යාපනය ද විධිමත් විය යුතුයි එමගින් මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවිය යුතුයි. මෙවන් පියවරයන් ක්‍රියාත්මක කිරීම තුළින් ලංකාව තුළ යම් ආකාරයක නිදහස් මාධ්‍ය පරිසරයක් ගොඩනගා ගත හැකි බව මාගේ අදහසයි. මෙම නිදහස් ජනමාධ්‍ය පරිසරයක් ගොඩනැගීම පිළිබඳව යම් යෝජනා ඇතුළත් යෝජනා මාලාවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් මේ වන විට පිළියෙළ කර තිබෙනවා. අප එය නිදහස් ජනමාධ්‍ය දින (මැයි 03 දින) පුස්තකාල හා ප්‍රලේඛණ සේවා ශ්‍රවණාගාරයේදී ගරු ජනාධිපතිතුමන් ඇතුලු මාධ්‍ය ක්ශේත්‍රයේ විද්වතුන් හා අනෙකුත් පාර්ෂව වෙනුවෙන් පිළිගැන්වීමට නියමිතයි.

සාකච්ඡා කළේ 
අයේශ් විජයසිංහ.

(මෙය 2016.05.01 දින ඇත්ත පුවත්පතේ පලවූවකි).

No comments:

Post a Comment