Friday, June 12, 2015

ළමා මනස කළමණාකරනය හා වර්තමාන ළමා රියැලිටි වැඩසටහන්









දරුවන් සුවඳයි මල්         සේම
නුවනින් එළියයි හිරු       සේම
සඳ කැල්මෙන් නහවන    සේම
ආදරයෙන් සුරකිමු          බෝම

        මලක් මෙන් පිවිතුරු සමනළයෙකු මෙන් සුන්දර දරුවා පිය නගන්නේ වැඩිහිටියන් පරම්පරා කිහිපයක් විසින් බරපතළ ලෙස දූෂණය කරන ලද සමාජයකටය. ඒ තතු කිසිවක් දරුවා නොදනියි. එබැවින් දරුවෙකු සමාජයට එකතු වීමේදී මුහුණ පාන ගැටලූ බෙහෙවින් සංකීරණය. එයට රූපවාහිනිය හා එහි ළමා යැයි කියාගන්නා වැඩසටහන් වගකිව යුතු බවට විවිධ මත ගොඩනැගී තිබේ. ඒ සම්බන්ධ කිසියම් අවබෝධයකින් දෙමාපියන් කටයතු කල යුතුය තිරණ ගත යුතුය. දරුවෙකු වටිනා වීදුරු භාණ්ඩයක් යැයි සිතමු . එය බිම වැටුණොත් යළි ප‍්‍රකෘති තත්වයට පත් කළ නොහැකිය. එනිසා එය පරිස්සමින් රැක ගත යුතුය. නැත ආදරයෙන් රැක ගත යුතුය.

   දරුවෝ ජීවිතයේ හොඳම සම්පත වෙති. එමෙන්ම ළමාවිය නැවත නො එන අපූර්ව කාල පරිච්ජේදයකි. සෑම දරුවෙකුටම වැඩිහිටියන්ගේ කතා බහ දයාව ආදරය පිරුණ පී‍්‍රතිමත්  ළමාවියක් අත්කර ගැනීමට අයිතියක් තිබේ. බොහෝ දරුවන්ට ඔවුන්ගේ මිතුරන් සමීපතමයින් වන දෙමව්පියන් සිටී. එහෙත් ලෝකයේ ඊට වඩා බහුතර සංඛ්‍යාවක් දරුවෝ දරිද්‍රතාවයෙන් හා ආහාර අහේනියේ ගිලී සිටිති එබදු තත්වයන් තුල ඔවුන්ට ඉහත කී පී‍්‍රතිමත්  ජීවිතය පිළිබඳ ව සිතන්නටවත් අවකාශ නැත. තවත් බොහෝ දෙනා ආධ්‍යාත්මික දුගීභාවයෙන්ද වෙසෙති. ඔවූහු පාරිභෝජන ද්‍රව්‍යයන් විසින් රවටනු ලබන අතර රූපවාහිනී තිර මගින් වගුරුවන දෑ විසින් සිතීමට ඉඩක් නොතබාම ග‍්‍රහණය කරගෙන තිබේ.
   වර්තමාන ලෝකයට ජීවිතය ගැන කියා දෙන්නේ රූපවාහිනිය විසිනි. එමගින් මෙතෙක් අප මුතුන් මිත්තන් ජීවිතය දකින්නට හුරු පුරුදු වූ මාවත් වෙනුවට නව මං අනාවරණය කරමින් තිබේ. නූතන ජීවිතය අතීතයේ මෙන් සංසුන් රිද්මයකින් ගලා යන්නක් නොවේ. රිද්මය වශයෙන් එය අධිවේග වේ. මාදිලියෙන් එය විසිතුරු වේ. ඒ සියල්ලටම පිටුපසින් දිවෙන ආත්මාර්ථයන්ද කෲරත්වයන්ද හදුනා ගත හැක රූප මාධ්‍ය මෙම යථාර්ථය පිටපත් කර නැවත නැවත අවධාරණය කරයි. රූපවාහිනිය පුනරුච්ජාරණය කරන නිමක් නැති සිහින මවා පෑම ළමා මනස කෙරේ අහිතකර ලෙස බලපෑමකට ලක් කර ඇත.
    ඇත්තටම ළමයා යනු කවුද? ජෛව විද්‍යාත්මක පදනමක සිට පැහැදිලි කරන විට ළමයා යනු දරුවන් බිහිකිරීමට නුසුදුසු වයසේ පසුවන්නෙක් ලෙස පෙන්වා දිය හැකිය. ළමයෙකුගේ වැඞීම පහත වයස් අවධීන් තුල විවිධ අයුරින් හැදින් වේ.

       දවස් 0 - දවස් 28 දක්වා (අලූත උපන්)
       දවස් 28 - අවුරුදු 2 දක්වා (ළදරුවා)
       අවුරුදු 2 - අවුරුදු 6 දක්වා (පෙර ළමාවිය)
        අවුරුදු 6 - අවුරුදු 13 දක්වා (ළමා අවධිය) 

අවුරුදු 13 සිට අවුරුදු 18 දක්වා කාලය ළමයින් වැඩිහිටියන් බවට පත් වීමේ කාලය ලෙස හදුන්වනු ලබයි. හෝමෝන ක‍්‍රියාකාරීත්වය මත ළමයින්ගේ ශාරීරික හා ප‍්‍රජනන පද්ධතියේ වර්ධනය මෙන්ම ශාරීරික වෙනස්කම්ද සිදුවන කාල පරිච්ජේදයක් ලෙස මෙම කාලය පෙන්වා දිය හැකිය. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුමට අනුව අවුරුදු 18ට අඩු සෑම මනුෂ්‍යය ජීවියෙකුම ළමයෙකු ලෙස හැදින්වේ.
         මෙසේ රටක ඉතා වැදගත්ම ජන කොට්ඨාශය ලෙස හදුන්වනු ලබන ළමයා වර්තමානය වන විට විවිධ බලවේගයන්හි ගොදුරක් බවට පත්ව ඇත. එහි උච්චතම අවස්ථාව ලෙස ශ්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක වන ළමා රියැලිටි වැඩසටහන් හැඳින්විය හැකිය. බොහෝ දෙනාගේ විශ්වාසයට අනුව ජනප‍්‍රිය රියැලිටි වැඩසටහනක් මුලින්ම විකාශය වූයේ බි‍්‍රතාන්‍ය ITV නාලිකාවෙන් POP IDOL යන ගායන කුසලතා මනින වැඩසටහනක් ලෙස 2001 වසරේදීය. අනතුරුව එයට සමාන වැඩසටහනක් 2002 වසරේදී AMERICAN IDOL යන නමින් ඇමරිකාවේදීද, 2004 වසරේදී අසල්වැසි ඉන්දියාවෙන් INDIAN IDOL යන නමින්ද ආරම්භ විය. එහි බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වන්නේ 2005 වසරේදී ප‍්‍රථම ලාංකික රියැලිටි වැඩසටහන වූ සිරස SUPER STAR වැඩසටහන ආරම්භ වීමත් සමගය. එය ලාංකේය පේ‍්‍රක්ෂකයන්ට ඉතා ආකර්ෂණීය වැඩසටහනක් වූ අතර එහි උත්කර්ෂය අනෙක් නාලිකා වලටද දැඩි බලපෑමක් එල්ල කළේය එහිදී අනෙක් නාලිකාද රියැලිටි වැඩසටහන් අනුකරණය හෙවත් කොපි කිරීම ආරම්භ විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස DREAM STAR, COMEDY STAR,  MEGA STAR, CITY OF DANCE, REAL LEADER, LONDON STAR, TALENT SRI LANKA, MANHUNT, MEGA SANGEETH ආදී විවිධ රියැලිටි වැඩසටහන් පේ‍්‍රක්ෂකයන්ට සමීප විය. එහි ප‍්‍රධාන ප‍්‍රවණතාවක් ලෙස ළමා රියැලිටි වැඩසටහන් නිර්මාණය වූ අතර එය දෙරණ LITTLE STAR වැඩසටහන ඔස්සේ ආරම්භ විය. එය විවිධ වයස් සීමාවන්හි සිටින ළමයින්ගේ ගායන නර්ථන කුසලතාවයන් මැන බැලීමේ තරඟයක් විය. එය ශ්‍රී ලාංකික පේ‍්‍රක්ෂකයන්ට අමුතුම ආකාරයේ අත්දැකීමක් වූ අතර ළමයින්ගේ දක්ෂතා නැරඹීමට ඔවුන් රූපවාහිනිය වටා එක් රොක් විය. අනතුරුව TNL නාලිකාව මගින් X-tra ළමා තරු වැඩසටහන ඔස්සේ ගායන කුසලතාවයෙන් යුත් ළමයින් තේරීම ආරම්භ කෙරිනි. මෑතකාලීනව සිරස නාලිකාව ආරම්භ කල පොඞ්ඩන්ට පුළුවන් වැඩසටහන ළමයින්ට තමන් කැමති දක්ෂතාවයක් එනම් ගායන, නර්ථන, චිත‍්‍ර, මැජික්, රංගන, වාදන ආදී වූ හැකියාවන් ප‍්‍රදර්ශනය කොට ජයග‍්‍රහණය කිරීමේ අවස්ථාව සලසා දුන් තරඟයක් විය. පෞද්ගලික නාලිකා වලට අමතරව රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් වූ ස්වාධීන රූපවාහිනී සේවය ITN සුපිරි හපනා වැඩසටහන ආරම්භ කල අතර එය අනෙක් ළමා රියැලිටි වැඩසටහන් වලට වඩා වෙනස් මුහුණුවරක් ගත් වැඩසටහනක් විය. එනම් මෙම වැඩසටහන මගින් ළමයෙකු සතු වූ සියලූම දක්ෂතාවයන්ට අමතරව ළමයාගේ සාමාන්‍ය දැනීමද පරීක්ෂාවට ලක් කිරීම මෙහි වූ විශේෂතාවයයි.

        මේ ආකාරයට විවිධ අරමුණු විවිධ වයස් සීමාවන් මෙන්ම විවිධ තරඟ රටාවන් කේන්ද්‍ර කොට ගත් එකිනෙකට වෙනස් ළමා රියැලිටි වැඩසටහන් කිහිපයක් මේ වන විට ලාංකේය රූපවාහිනී  නාලිකා මගින් ක‍්‍රියාත්මක කරමින් ඒවා පේ‍්‍රක්ෂකයන්ට සමීප කරමින් සිටී. මෙම ළමා රියැලිටි වැඩසටහන් මේ වන විට තරඟ වට (Seasons) කිහිපයක් පවත්වා ඇති අතර එම සෑම වැඩසටහනකටම පාහේ ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාරද ලැබුනු බව නොරහසකි. නමුත් කෙතරම් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මෙම  ළමා රියැලිටි වැඩසටහන් වලට ලැබුනද බහුතර ළමා මනෝ වෛද්‍යවරු, ප‍්‍රවීන සංගීතවේදීන්, ප‍්‍රවීන නර්ථනවේදීන් මෙන්ම අධ්‍යාපනවේදීන්ගේ මතය වී ඇත්තේ මෙම ළමා රියැලිටි වැඩසටහන් මගින් ඍජුව මෙන්ම වක‍්‍රාකාරවද ළමයින් අපයෝජනයට ලක් කරන බවත් එමගින් ළමයින් දැඩි මානසික පීඩනයට ලක්වන බවයි .

      අද වන විට මෙම ළමා රියැලිටි වැඩසටහන් හුදෙක් ඊට සහභාගී වන ළමයින්ගේ මනසට පමණක් නොව එය නරඹන ළමා ප‍්‍රජාවෙහි මනසටද ඉතා ප‍්‍රභල බලපෑමක් එල්ල කරන බව අධ්‍යාපනවේදීන්ගේ හා මනෝ වෛද්‍යවරුන්ගේ මතයයි . ඔවුන්ගේ මතයට අනුව මෙම ළමා රියැලිටි වැඩසටහන් ළමයින්ගේ කුසලතාවයන්ට ප‍්‍රමුඛතාව පිරිනමන නිසා ග‍්‍රාමීය පෙදෙස් වල අඩු පහසුකම් යටතේ ජීවත් වන දක්ෂ ළමයින්ට තම හැකියාවන් දියුණුවීමට හොඳ වේදිකාවක් සපයන බවයි. නමුත් මෙම  වේදිකාව තුල පැවතිය හැක්කේ, ඉදිරියට යා හැක්කේ සීමිත කාලයක් තුල අති විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් කරන ළමයින්ට පමණයි. එවැනි තත්වයක් නිර්මාණය වී ඇත්තේ මෙම වැඩසටහන් තුල ඇති තරඟකාරීත්වය මතයි. මෙම තරඟකාරීත්වයට හසුවන ළමයා තම අධ්‍යාපන කටයුතුද අනෙක් බාහිර කටයුතුද සමග සතියක් වැනි කෙටි කාලයක් තුල අති විශිෂ්ඨ ඉදිරිපත් කිරීමකට අවශ්‍ය පුහුණුවීම් කල යුතුයි. මෙහිදී ළමයා මුහුණදෙන අහිතකර තත්වය නම් අධික පුහණු වීම් මත ළමයාගේ උගුර ආශි‍්‍රත ස්වර තන්තු වලට හා අත පය වලට ආබාධ ඇති විය හැකි වීමයි. තවද මෙම තරඟකාරීත්වය ළමා මනසට දරාගත නොහැකි පීඩනයකි. තවද සතියක් වැනි කෙටි කාලයක් තුල මෙසේ ළමයා සුපිරි තරුවක් බවට පත්වීමේ සිහිනය තුල කොටුවීමද ඔහුගේ මනසට පීඩනයකි.

    එපමණක් නොව ළමා රියැලිටි වැඩසටහන් තුල සිදුවන ක‍්‍රියා හේතුවෙන් ළමා අයිතිවාසිකම්ද කඩවන බව ඔවුන්ගේ මතයයි. එනම් ළමයා කැමති ගීත වෙනුවට නාලිකාවට අවශ්‍ය ගීත බලෙන් ගායනය කරවීම sms තරඟයකට කොටු කර වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම, ප‍්‍රසිද්ධ සභාවක් මධ්‍යයේ ළමයාගේ වැරදි ප‍්‍රකාෂ කිරීම හා ළමයා තරඟයෙන් ඉවත් කිරීම යන කරුණු පැහැදිලි ලෙසම ළමා අයිතිවාසිකම්ද කඩවන අවස්ථා බවත් එමගින්ද ළමා මනසට දරාගත නොහැකි පීඩනයක් ඇතිවන බවත් පැහැදිලි වේ.

        තවද මෙම රියැලිටි වැඩසටහන්තුල තරඟ වදින ළමයින්ගේ ඇදුම් පිළිබඳව සලකා බැලීමේදී එම ඇදුම් තුල ළමා නියෝජනයක් නොමැති අතර එමගින් තාරුණ්‍ය නියෝජනයක් දක්නට ලැබේ. ඇදුමින් පමණක් නොව ගීත ගායනය නර්ථනය හා ප‍්‍රාසාංගික ඉදිරිපත් කිරීම්ද තාරුණ්‍ය නියෝජනයක් සහිතව වේ.  එපමණක් නොව මෙම ශෘංගාරාත්මක ගායනයන් හා නර්ථනයන් දෙස නිවසේ සිට නරඹන ළමයා තුල ව්‍යාජ වීරයන් නිර්මාණය වන අතර ඔහුගේ මතකයෙන් වීර මද්දුම බණ්ඩාර වැනි අතීත ළමා වීරයන් මැකී ගොස් මෙම රියැලිටි වැඩසටහන් තුල තරඟවැද ජයග‍්‍රහණය ලබන්නන් තම වීරයන් බවට පත් කර ගනී. මෙම තත්වය තුලින් ළමයාගේ මනස අනියම් ආකාරයෙන් විකෘති කිරීමකට ලක් වෙයි.

  මෙම වැඩසටහන් සඳහා ළමයින් සහභාගී කරවන දෙමව්පියන් බොහෝ විට උත්සාහ දරන්නේ තමන්ට සැබෑ කර ගැනීමට නොහැකි වූ සිහිනයන් තම දරුවන් තුලින් සැබෑ කර ගැනීමටයි. එම කටයුත්ත සඳහා තම දරුවන් වැඩසටහන මෙහෙයවන්නන්ට අවශ්‍ය ලෙස ගොඩනැංවීමට දෙමව්පියන් පෙළඹේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමන්ට ආවේණික ආකල්ප කුසලතා නොමැති හුදු අනුකරණයට පමණක් යොමු වූ තම චින්තනය මොට කරගත් ළමා පරපුරක් බිහි වීම, මෙම රියැලිටි වැඩසටහන් තුලින් සිදු වේ. දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය ළමා මනසක් සහිතව ගත කිරීමට ඉඩ ලබා දීම සඳහා ඔවුන් අන්තර්ජාලය භාව්තය වැළැක්වීම පිළිබද ඇමරිකානු බලධාරීන්ගේ අවධානයට යොමු වී ඇතැයි පසුගිය කාලයේ වාර්ථා විය. ඒ ඇමරිකාවේය. එම රටේ එසේ සිතද්දී ලක් දෙරණේ සිදුවන්නේ කුමක්ද? එදා ගුවන් විදුලියේ සිරි අයියාගේ හෝ කරු අයියාගේ ළමා පිටිය වැනි වැඩසටහන් වලින් සිදු කෙරුනේ ළමා ගීත මගින් ළමා ගායක ගායිකාවන් බිහි කිරිමයි. ඔවුන් වැඩිහිටි වන තුරුම වැඩිහිටි ගීත ගයන්නට ඉඩ සැලසුනේ නැත.

    තවත් දරවෙකුගේ ජය උසුලා ගත නොහැකිව මව්වරුන්ගේ හැඩිම් කැමරා කාචයට හසු කර ගන්නේ ගෙදර සිට නරඹන පේ‍්‍රක්ෂකයාගේ සිතද සසල කරමින් ප‍්‍රසාංගික බව ගෙන ඒමටය. නමුත් එම දර්ශනය බෞද්ධ අම්මා නිරූපණය නොවේ. ඇය මෙත්තා, කැරණා, මුදිතා, උපේක්ෂා යන සිව් බඹ විහරණ සපිරි තැනැත්තියකි. ඇයට මෙළොව කුමන දරුවත් එක හා සමාන වේ. කුසයේ නොදැරුවත් දරු සෙනෙහස එක සමානය. නමුත් තරගකාරී රියැලිටි වැඩසටහන් කරුවන් දෙමාපියන් දරුවන් අනවශ්‍ය ලෙස සංවේදී කර ඔවුන්ගෙන් අනවශ්‍ය ප‍්‍රයොජන ලබා ගැනීමට යොමු වී ඇත.

මෙහිදී අපචාරය යන  වචනය භාවිත කිරීම වරදක් යැයි මම නොසිතමි.  ”අක්ෂරයචිත‍්‍රපටයට එරෙහිව නීතියට යෑමට හේතුව එහි ළමා නළුවා මවගේ නිරුවත දකින බවට නගන ලද චෝදනාවයි. ළමා ගීත වලට අමතරව බුදු ගුණ ගී ,මව් ගුණ ගී  ,පිය ගුණ ගි ,දේශාභිමාණි ගී ස්වභාව සෞන්දර්ය ගැන ගැයෙන ගී කොතරම් තිබේද ?මොවුන්ට ඒවායින් ඵලක් නැත. අවශ්‍ය වන්නේ මුදල් ගැරීම සදහා ළමා මනස වැඩිහිටියන් කිරීමයි. විකෘති කිරීමයි. දරුවන් ලෙස සිතන්නට සිටින්නට ඉඩ නොදීමයි. මෙයද අපචාරයකි. දරුවන් ගේ සිත් දුෂණය කරමින් වැඩිහිටි කිරීමද, දරුවකු ලවා වැඩිහිටි ගීත ගායනා කරවීමද එක සමාන අපරාධයන්ය. ළමා පරපුරේ යහපත උදෙසා ඇති ළමා කාන්තා කාර්යංශය නාලිකා තුළ විකාශනය වන රියැලිටි වැඩසටහන් වල දැරවන් ගායනා කරන ගීත පිළිබද සොයා බැලිය යුතුයි. ඒවාගේ අර්ථයන් කොතෙක් දුරට ළමයාට සුදුසුද යන්න විමසා බැලිය යුතුයි.

තවද මාධ්‍ය ආචාර ධර්ම හමුවේ දරුවා මාධ්‍ය තුළ හැසිරවිය යුතු ආකාරය හා ළමයා සුරැකීමට බොහෝ විධිවිධාන සකසා ඇත.නමුත් ළමා රියැලිටි වැඩසටහන් වල ප‍්‍රමිතිය එහි සංදර්භය විමසීමක් සිදු කරමින් විධිමත් නීතිරීති රටාවක අවශ්‍යතාව මතු වී ඇත.තවද අද වන විට මාධ්‍ය මගින් මෙම වැඩසටහන් ඉවත් කර ගත්තද සමාජය තම දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන් විකාශනය වන තුරු බලා සිටි.එනිසාම මෙය සමාජයෙන් ඉවත් කළ නොහැකි පිළිලයක් වී හමාරය.මෙනිසාම මෙහි ආකෘතිය වෙනස් කිරිම කළ යුතුව ඇත.ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් සකස් වන්නේ නම් දරුවන්ගෙන් තරගකාරීත්වය ඉවත් කළ යුතුය.ඒ වෙනුවට සතුට ළං කල යුතුය.එවිට යම් මට්ටමකට අනාගත කැකුලූ වන් දරු පරපුරේ මානසික දියුණුව ළගා කර ගත හැකිය.

මෙම ලිපිය 2015.03.29 දින ”ඇත්ත” පුවත් පතේ පළ වූවකි
http://www.aththa.lk/paper/29_03_2015/eBook/index.html

අයේෂ් මධුෂංක විජයසිංහ

No comments:

Post a Comment